පසුගිය 11 වන දින දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ දී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම අපරාධය සිදුකළ ප්‍රධාන සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 17 වනදා රිදීමාලියද්ද, දෙහිවල හා බොරැලැස්ගමුව පොලිස් වසම්වලදී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සැකකරුවන් තිදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (25) දෙහිවල ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 960 ක් සහ අපරාධය සඳහා යොදාගත් ත්‍රී රෝද රථයක් ද සොයාගැනීමය හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පිළියන්දල සහ කහතුඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.













