පසුගිය 21 වනදා අම්බලන්ගොඩ පොලිස් වසමේ කහව හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) උදෑසන බටපොල පොලිස් වසමේදී මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 19 හා 22 වයස්වල පසුවන අළුත්වල හා මීටියාගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම සැකකරුවන් අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු හා වෙඩික්කරු වශයෙන් ක්‍රියාකළ සැකකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝල අවිය, ජීව පතරොම් 10ක්, සැකකරුවන් පැමිණි යතුරුපැදිය හා ඔවුන් පැළඳ සිටි ආරක්ෂිත හිස්වැසුම් 02ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.













