ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපයේ දී පෙරළි යාමෙන් ආපදාවට පත් KM ‘GARUDA JAYA VI’ යන ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවේ සිටි ඉන්දුනීසියානු ජාතිකයින් 25 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව ගොඩබිමට ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිව තිබෙනවා.
එම මුදාගත් පිරිස කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදා යාත්‍රාවක් මඟින් ඉදිරි කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට ඊයේ (24) රාත්‍රියේ නාවික හමුදාව විසින් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මෙම ඉන්දුනීසියානු ධීවර යාත්‍රාව පසුගිය 22 වනදා පෙරළි යාමෙන්, එහි සිටි ඉන්දුනීසියානු ජාතිකයින් පිරිස ආපදාවට පත්ව තිබෙනවා.
ආපදාවට පත් ඉන්දුනීසියානු ජාතිකයින් අතරින් විසි පස්දෙනෙකු MV MOONSTONE නෞකාව මඟින් මුදාගෙන ඇති බවත්, එම පිරිස භාරදිම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත එම නෞකාව වෙතින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම දැනුම් දීමකට කඩිනමින් ප්‍රථිචාර දැක් වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් පිරිස රැගෙන ඒම සඳහා නාවික හමුදා යාත්‍රා දෙකක් යොමු කෙරුණා.
ඒ අනුව, MV MOONSTONE නෞකාව මඟින් රැගෙන ආ ඉන්දුනීසියානු ජාතිකයින් විසිපස්දෙනා නාවික හමුදා යාත්‍රාවක් මඟින් රැගෙන කොළඹ වරාය වෙත රැගෙනවිත් එම පිරිසට අවශ්‍ය මානුෂීය ආධාර ලබා දී ඉදිරි කටයුතු සඳහා ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.













