බංග්ලාදේශයේ 2026/27 මූල්‍ය වර්ෂය සඳහා වන ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 4ක් දක්වා පහත දැමීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී ADB ආයතනය බංග්ලාදේශය සඳහා සියයට 4.5ක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර තිබුණා.
නවතම Asian Development Outlook වාර්තාවෙන් එම අගය පහත දමා ඇත්තේ බැංකු ක්ෂේත්රයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ව්‍යුහාත්මක ගැටලු, දැඩි බලශක්ති හිඟය, වෙළෙඳ අභියෝග සහ කාලගුණික බලපෑම් සැලකිල්ලට ගනිමින්.
විශේෂයෙන් ඉහළ මට්ටමේ අක්‍රීය ණය හෙවත් Non-Performing Loans – NPLs, බැංකුවල දුර්වල මූල්‍ය තත්ත්වය සහ ඉහළ ණය පොලී අනුපාත හේතුවෙන් පෞද්ගලික අංශයට අවශ්‍ය ණය ලබාගැනීම සීමා වී ඇති බව ADB පෙන්වා දෙනවා.
බලශක්ති සැපයුමේ අස්ථාවරත්වය, ප්‍රවාහන හා
සැපයුම් දාම ගැටලු සහ දීර්ඝ නියාමන හා අනුමත කිරීමේ ක්‍රියාවලීන් ද නව ආයෝජන සඳහා බාධාවක් වී තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශයේ කාර්මික අංශයේ වර්ධනය 3.3% දක්වා මන්දගාමී වනු ඇතැයි ADB පුරෝකථනය කරනවා.
බලශක්ති හිඟය, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ දුර්වල විදේශීය ඉල්ලුම ඊට ප්‍රධාන හේතු ලෙස දක්වා තිබෙනවා.
කෙසේ වෙතත්, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල සුළු වර්ධනය හේතුවෙන් සේවා අංශය 4.7%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි.
මේ අතර බංග්ලාදේශයේ සාමාන්‍ය උද්ධමනය 2025/26 මූල්‍ය වර්ෂයේ පැවති 8.7% සිට 2026/27දී 9% දක්වා ඉහළ යනු ඇති බවට ද ADB අනතුරු අඟවනවා.
El Niño කාලගුණික තත්ත්වයේ පසුකාලීන බලපෑම්, බලශක්ති හිඟය, ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ ගෝලීය නාවික ප්‍රවාහනයට ඇතිවිය හැකි බාධා මිල ගණන් ඉහළ යාමට බලපානු ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.
මැදපෙරදිග ගැටුම් තවදුරටත් දිග්ගැස්සීම, තෙල් මිල ඉහළ යාම, ගෝලීය වෙළෙඳ සීමා දැඩිවීම, බැංකු ක්ෂේත්රයේ තවත් අර්බුද සහ දේශගුණික ආපදා බංග්ලාදේශ ආර්ථිකයේ වර්ධනය තවදුරටත් දුර්වල කළ හැකි ප්‍රධාන අවදානම් ලෙස ADB හඳුනාගෙන තිබෙනවා.













