මරදන්කඩවල නගරයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් අද (9) සිදුවූ රිය අනතුරකින් මවක් සහ ඇගේ පුතු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 24 හැවිරිදි පුත්‍රයායි.
මියගිය තරුණයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සරසවි ශිෂ්‍යයෙක් බවයි වාර්තා වන්නේ.
දඹුල්ල ප්‍රදේශයේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා මව සහ පුතු ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඔවුන් ගමන් කළ දිශාවටම ලොරි රථයද ධාවනය වී ඇති අතර, ලොරි රථය දකුණු පසට හැරවීමට යාමේදී යතුරුපැදිය සමඟ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් බරපතල තුවාල ලැබූ මව සහ පුතු මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී දෙදෙනාම මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.













