ගෝලීය එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ මිලට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සොයා බැලීම සඳහා පෙර සූදානම අරමුණු කර ගනිමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අද (25) දින වෙළෙඳ අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එල්නිනෝ තත්ත්වයේ බලපෑම අප රටට අවම වුවද, ගෝලීයව සෙසු රටවලට වන බලපෑම නිසා මෙරට අත්‍යවශ ආහාර ද්‍රව්‍ය සැපයුමට වක්‍ර බලපෑම් එල්ල විය හැකි බැවින් ඊට පෙර සූදානමක් ලෙස අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම අවශ්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ මෙහිදී පෙන්වා දුන්නා.
ඒ සඳහා ආනයනකරුවන් සතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණයන් විමසා බැලීම සහ ශ්‍රී ලංකා රේගුවේ දත්ත විමසා බැලීම ද මෙහිදී සිදුකෙරුණා.
ජනතාව තුළ අනියත බියක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදුනොකරන ලෙසත්, වගකීම් සහගත ලෙස ජාතික තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් මෙහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.
පරිප්පු, අල, ලූණු, කරවල සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ හිඟයකින් තොරව පවත්වා ගෙන යාම මෙන්ම මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳ ආනයනකරුවන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.
ඉදිරියේදී ඇතිවිය හැකි හිඟයන් හෝ මිල ඉහළ යාම් පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ තත්ත්වය සහ කාලගුණික වෙනස්වීම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මෙහිදී එකඟතාව පළ වුණා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් කැඳවා සිදුකළ මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්භාව, ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.













