ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පමණක් රටක අවසාන ඉලක්කය නොවන බවත්, තිරසාර ඉදිරි ගමනක් සඳහා පුළුල් ආර්ථික සහ ආයතනික පරිවර්තනයක් සිදු විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ (OPA) 39 වන වාර්ෂික සම්මේලනයේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අගෝස්තු 11 වන දින කොළඹ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවා.
“ශ්‍රී ලංකාව පෙරට: ආර්ථික අර්බුදයෙන් ඔබ්බට” යන තේමාව යටතේ සංවිධානය කළ 39වන වාර්ෂික සමුළුවේ දී OPA නිල සඟරාව (OPA Journal) අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්වීම සහ 39 වන වාර්ෂික සම්මේලනයේ නිල ලාංඡනය (Logo) එළිදැක්වීම ද සිදු කෙරුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
”පසුගිය අවුරුදු කිහිපය අපේ රටට සහ ජනතාවට ගොඩක් අභියෝගාත්මක කාලයක් වුණා. ආර්ථික, සමාජීය සහ ආයතනික වශයෙන් රට ලොකු ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. ඒ නිසා ජනතාවගේ විශ්වාසය පළුදු වුණා වගේම රටේ අනාගතය ගැන ලොකු අවිනිශ්චිතතාවක් නිර්මාණය වුණා. හැබැයි, අපි අනාගතය දිහා බලද්දී එක දෙයක් හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි, අර්බුදයෙන් ගොඩ ඒම කියන්නේ අපේ අවසාන ඉලක්කය නෙවෙයි කියන එක. ගොඩ ඒමෙන් වෙන්නේ පදනම හැදෙන එක විතරයි. රටකට තිරසාර ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන්නේ ඒ හරහා ලොකු වෙනසක්, එනම් පරිවර්තනයක් සිදු වුණොත් විතරයි.”
”මෙවර සමුළුවේ තේමාව වන “ශ්‍රී ලංකාව පෙරට: ආර්ථික අර්බුදයෙන් ඔබ්බට” කියන සංකල්පයෙන් අදහස් වෙන්නෙත් අන්න ඒ දේමයි. අපේ ඉලක්කය වෙන්න ඕනේ යථා තත්ත්වයට පත් වෙන එක විතරක් නෙවෙයි. ශක්තිමත් ආයතන පද්ධතියක්, ශක්තිමත් ආර්ථිකයක්, ගුණාත්මක මහජන සේවයක් සහ සෑම පුරවැසියෙකුටම ඉදිරියට යන්න පුළුවන් පරිසරයක් තියෙන රටක් ගොඩනගන එකයි”
”අපි හිටපු තැනටම ආපසු යනවා වෙනුවට, ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි, නවෝත්පාදනයන්ගෙන් පිරි, හැමෝටම සාධාරණ රටක් හදන එකයි අපේ ප්‍රධාන අරමුණ. මේ අරමුණ ඉටු කරගන්න එක ආර්ථික වර්ධනයෙන් හෝ භෞතික සංවර්ධනයෙන් විතරක් කරන්න බෑ. ඒකට විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය පාලනයක් වගේම, රටේ දැනුම සහ වෘත්තීය පළපුරුද්ද නිවැරදිව භාවිත කිරීම අත්‍යවශ්‍යයි. අන්න ඒ නිසයි OPA වැනි වෘත්තීයවේදී සංවිධානවලට මෙතැනදී ලොකු වගකීමක් පැවරෙන්නේ.අපේ රටේ හැම ක්ෂේත්‍රයකම ප්‍රගතියට වෘත්තීයවේදීන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා වැදගත්. රටක සංවර්ධනය තීරණය වෙන්නේ භෞතික සම්පත්වලින් විතරක් නෙවෙයි, ඒ රටේ ජනතාවගේ දැනුම, හැකියාව සහ පළපුරුද්ද කොයි තරම් දුරට රට වෙනුවෙන් යොදාගන්නවාද කියන කාරණය මතයි. රජය සහ වෘත්තීයවේදීන් අතර ඇති වෙන එකමුතුකම සහ සහයෝගය මේ වෙලාවේ ගොඩක් වැදගත්. ”
”රජයක් විදිහට අපි විශ්වාස කරන්නේ නිවැරදි ප්‍රතිපත්ති හදන්න නම් පර්යේෂණ, දත්ත සහ ප්‍රායෝගික පළපුරුද්ද තියෙන වෘත්තීයවේදීන්ගේ අදහස් අත්‍යවශ්‍යයි කියන එකයි. ප්‍රතිපත්තියක් කියන්නේ කඩදාසියකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒකෙන් ජනතාවගේ දෛනික ජීවිතයට යහපත් බලපෑමක් වෙන්න ඕනේ. අද අපි ජීවත් වෙන්නේ වේගයෙන් වෙනස් වෙන ලෝකයක. කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය සහ දේශගුණික වෙනස්වීම් වැනි බොහෝ දේ ලෝකය අලුත් මාවතකට ගෙනියනවා.”
තාක්ෂණික දැනුමට අමතරව, සෑම වෘත්තීයවේදියෙකුටම සාමාජික වගකීමක් සහ සදාචාරාත්මක නායකත්වයක් අවශ්‍ය බවත්, අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරෙන මෙවැනි යුගයක, සාක්ෂි සහ විද්‍යාත්මක පදනම මත පිහිටා අදහස් දැක්වීමත්, ප්‍රජාතන්ත්‍රවාදී අගයන් රැකගැනීමත් වෘත්තීයවේදින්ගේ ප්‍රධාන වගකීමක් වන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික්, ඇඩ්වාකාටා ආයතනයේ සභාපති මුර්තසා ජාෆර්ජී, OPA හි සභාපති ජයන්ති ගල්ලෙහෙවා, නව සභාපති සහ සම්මේලන කමිටු සභාපති තිසර ද සිල්වා, ප්‍රධාන ලේකම් ඉංජිනේරු රවි රූපසිංහ ඇතුළු ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වුණා.













