කඩුවෙල ප්රධාන බස් නැවතුම්පොලෙහි සති පොල භූමිය අසල නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් අද (05) දින අළුයම ගිනි තබා පලා ගොස් ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා
මෙලෙස ගිනි තබා ඇත්තේ අධිවේගී මාර්ගය හරහා කඩුවෙල – මාතර ධාවනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකට වන අතර ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන් ම දැවී විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
එම බස් රථය අසල ගාල් කර තිබූ කඩුවෙල – කොල්ලුපිටිය සාමන්ය සේවා බස් රථ දෙකකට ද ගින්නෙන් සුළු හානි සිදුව ඇති බවද පොලිසිය පවසනවා.
අද (05) දින අළුයම් කාලයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් බස් රථයට ගිනි තබනු දැක ඒ අසල තවත් බස් රථයක සිටි රියදුරු කොන්දොස්තර දෙදෙනෙක් විසින් කෑ ගැසීමේදී එම දෙදෙනා පලා ගොස් ඇති බවද පොලිසිය පවසනවා.
අදාළ බස් රථයට ගිනි තබන අවස්ථාවේදී එම බස් රථය තුල රියදුරු කොන්දොස්තර දෙදෙනා නිදා සිට ඇති අතර අනෙක් බස් රථයේ සිටි රියදුරු කොන්දොස්තර දෙදෙනාගේ කෑ ගැසීම නිසාවෙන් ඔවුන් එම බස් රථයෙන් පිටතට පැන තිබෙනවා.
මෙම ගිනි තැබීම පෞද්ගලික කෝන්තරයක් මත සිදුකල ගිනි තැබීමක් බවට පොලිසිය සැක කරන අතර කඩුවෙල පොලිසිය විසින් වැඩිදුරට විමර්ශන සිදු කරනවා.













