මුවෙක් ඇනලා බන්ධනාගාර රැඳවියෙකු මැරිලා

වීරවිල පොලිස් වසමේ පිහිටි එළිමහන් සිරකඳවුරේ පුනරුත්තාපනය වන රැඳවියෙකු මුවෙකු ඇනීම හේතුවෙන් ඊයේ (08) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳවියා කඳවුර භූමියේ පිරිසිදු කිරීමේ කටයුත්තක යෙදී සිටියදී කඳවුරු භූමියේ නිදැල්ලේ සිටි මුවෙකු ඇන ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ප්‍රතිකාර සඳහා ඔහුව දෙඹරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වීරවිල පොලිස් ස්ථානයට තොරතුරු වාර්තා වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇති රැඳවියා අවුරුදු 30ක වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත දේහය දෙඹරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අද (09) දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.