මීගමුව, හලාවත, සහ කල්පිටිය ප්‍රදේශවලින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා තුනක් අනතුරට ලක්ව ඇති බව
ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.
ඊයේ (31) පස්වරුවේ ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා තුනක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ධීවරයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පැවසුවේ.
ඊට අමතරව තවත් ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.
මීගමුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් එහි සිටි එක් ධීවරයෙක් මියගොස් ඔහුගේ සිරුර අද (01) වෙරළට ගොඩගසා තිබිය දී සොයාගත් බව සඳහන් කළ ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා එම යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයා අතුරුදන්ව ඇති බවයි පැවසුවේ.
අතුරුදන්ව සිටින ධීවරයා සොයා මෙහෙයම් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම කල්පිටිය, බත්තලන්ගුන්ඩුව ප්‍රදේශයේ මුහුදු තීරයේ ද යාත්‍රාවක් අනතුරට ලක්ව එහි ගමන් ගත් ධීවරයෙකු ද මියගොස් තිබෙනවා.
ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එම ධීවරයාගේ සිරුර ද වෙරළට ගොඩගසා තිබිය දී හමුව ඇති බවයි.
මේ අතර හලාවත ප්‍රදේශයෙන් ඊයේ (31) සවස මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇති බව සදහන් කළ ඔහු එහි ධීවරයින් දෙදෙනෙකු සිට ඇති බවයි පැවසුවේ.
ඒ, අනුව එම යාත්‍රාව සහ ධීවරයින් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.













