2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (Public Debt Management Office – PDMO) 2025 වර්ෂයට අදාළ ප්‍රථම වාර්ෂික වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී 2025 වර්ෂයේ රාජ්‍ය ණය ප්‍රමානයේ වර්ධනය, පොළී අනුපාතවල උච්චාවචනයන් සහ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම හේතුවෙන් රාජ්‍ය ණය සේවාකරණයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා.
එමෙන්ම රාජ්‍ය ණය කළමනාකරණයේදී මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර පවතින සම්බන්ධීකරණයේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් වුණා.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මගින් රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු එක් ඒකාබද්ධ ආයතනයක් යටතට ගෙන ඒම සඳහා PDMO පිහිටුවා ඇති අතර, එහි ප්‍රධාන වගකීම් අතර රාජ්‍ය ණය කළමනාකරණය, ණය තිරසාරභාවය තහවුරු කිරීම, මධ්‍යකාලීන ණය කළමනාකරණ උපායමාර්ග සකස් කිරීම සහ වාර්ෂික රාජ්‍ය ණය කළමනාකරණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම ඇතුළත් බවද මෙහිදී පැහැදිලි කෙරුණා.
කාරක සභාවේදී PDMO ආයතනයේ මානව සම්පත් ඌනතාවය සහ නිලධාරීන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ හා නවීන ණය කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ විශේෂිත පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තාක්ෂණික සහාය යටතේ ක්‍රියාත්මක වන ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද නිලධාරීන් කාරක සභාව දැනුවත් කළා.
එහිදී, PDMO ආයතනය සඳහා සකස් කෙරෙන පුහුණු අවශ්‍යතා ඇගයීම් වාර්තාව (Training Needs Assessment – TNA) සති දෙකක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එම වාර්තාව මගින් ආයතනයේ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා හිඩැස් හඳුනා ගැනීම, විධිමත් වාර්ෂික පුහුණු සැලැස්මක් සකස් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ මෙහෙයුම්, ණය කළමනාකරණය සහ අවදානම් පාලනය වැනි තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම මෙන්ම ඉදිරි පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය අයවැය සැලසුම් කිරීම සඳහා පදනමක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී අනාවරණය වුණා.













