Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නකල්ස් රක්ෂිතයේ ගල්ගුහාවකින් හමුවූ බාලවයස්කර මව සහ බිළිඳා බලන්න ඇමති පෝල්රාජ් මහනුවර ජාතික රෝහලට

බාල වයස්කාර දැරියන් ලිංගික අපහරණය හා දූෂණය කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගත හැකි ආකාරයෙන් පවතින නීති යාවත්කාලීන කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

උඩුදුම්බර ප්‍රදේශයේ නකල්ස් රක්ෂිතයේ ගල්ගුහාවක රඳවා සිටි 15 හැවිරිදි දැරිය හා ඇය විසින් ප්‍රසූත කළ බව සඳහන් දෙමස් වයසැති බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයාබැලීම මහනුවර ජාතික රෝහල වෙත අද (15) පැමිණි අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය රෝහලේ අදාළ වාට්ටුව වෙත ගොස් බාල වයස්කාර මව සහ දෙමස් වයසැති බිළිඳා දැකබලා ඔවුන්ගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙනු ලැබුවා.

මෙහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ මේ ආකාරයේ සිද්ධීන් හේතුවෙන් බාල වයස්කාර දරුවන්ගේ ළමා විය මෙන්ම අධ්‍යාපනය අඩාල වී ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවයි.

දරුවන් මෙලෙස අනාරක්ෂිත තත්ත්වයට පත් කරන දෙමව්පියන් සඳහා ද නීතිමය පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට සහභාගී වූ මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය කියා සිටියේ මේ වන විට බාල අදාළ වයස්කාර දැරිය සහ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.