ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් අනිවාර්ය කර ඇති SLS 517 ප්රමිතියට අදාළ SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති ආරක්ෂක හිස්වැසුමක් අලෙවිය සඳහා ඉදිරිපත් කළ සමාගමකට කොළඹ අංක 05 ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් දඩ නියමකර තිබෙනවා.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකදීයි.
මෙලෙස දඩ නියම වී ඇත්තේ කොළඹ 10 ප්රදේශයේ පිහිටි පුද්ගලික සමාගමටයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය ඔක්තෝබර් 06 දින හෝ ඊට ආසන්න දිනකදී අදාළ ආයතනයේ සිදුකළ විමර්ශනයකදී, අනිවාර්ය SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති ආරක්ෂක හිස්වැසුමක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 11 දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන අංක 50 අනුව, අදාළ වර්ගීකරණයන්ට අයත් වාහන භාවිත කරන්නන් සඳහා වන ආරක්ෂක හිස්වැසුම්, SLS 517 ප්රමිතියට අදාළ SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම තහනම් කර තිබෙනවා.
එවන් නීතිමය තත්ත්වයක් තුළ එය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව රුපියල් 100,000ක දඩයක් පැනවීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
