යුක්රේන පාලනය යටතේ පවතින නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් හමුදා ඉවත් කර ගන්නේ නම්, යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමට එක්සත් ජනපදය මැදිහත්වෙන බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි.
ඇමරිකානු තානාපතිවරුන් වන ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් පසුගියදා රුසියානු ජනාධිපති පුටින් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි හමුවී සාකච්ඡා පැවැත්වුවා.
සෙලෙන්ස්කි ඔවුන් හමුවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, යුක්රේනය ඩොන්බාස් කලාපය අත්හැරීමට සූදානම් නැති බව සෙලෙන්ස්කි දිගින් දිගටම අවධාරණය කරනවා.
ඒ සමඟම, යුක්රේනයට ආරක්ෂක සහතික, හමුදා සීමාවන් සහ රට නැවත ගොඩනැගීම සඳහා අරමුදල් ලබා දෙන්නේ නම්, මෙම යෝජනාව ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව ඔහු පවසා තිබෙනවා.
යුක්රේන සතුව ඛණිජ සම්පත් වලින් පිරි සරුසාර කලාපවලින් එකක් ලෙස ඩොන්බාස් කලාපය ප්‍රසිද්ධයි. රුසියා-යුක්රේන යුද්ධයේ මුල් අවධියේ පටන්ම එම කලාපය අත්පත් කරගැනීමට රුසියාව විසින් අඛණ්ඩ ප්රයත්නයක් දරනවා. මේ වන විට රුසියාව යුක්රේනයෙන් පහෙන් එකක් පමණ පාලනය කරයි.
රුසියාව යුක්රේනයේ හමුදා ශක්තිය අඩු කිරීම, භූමිය භාර දීම සහ නේටෝවට සම්බන්ධ නොවීම ඇතුළු කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර, යුක්රේනයේ හිටපු එක්සත් ජනපද තානාපති විලියම් ටේලර් සීඑන්එන් හි ජෙසිකා ඩීන්ට පැවසුවේ අවසානයේ නේටෝවට ඇතුළු වීම යනු යුක්රේනය සටන් විරාමයක් පිළිගැනීමට අවශ්‍ය ආරක්ෂක සහතිකය විය හැකි බවයි.
කෙසේ වෙතත්, මෙම යෝජනාව වොෂින්ටනය විසින් කළ යුතු දේ නොවන බව ටේලර් පෙන්වා දෙනවා. නේටෝ සන්ධානයට නව රටක් ගෙන ඒමට අනෙකුත් සියලුම සාමාජික රටවල ඒකමතික කැමැත්ත අවශ්‍ය වෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා.










