තැනැත්තන් වෙළඳාමට එරෙහි ලෝක දිනය සෑම වසරකම ජුලි මස 30 වන දිනට, එනම් අද දිනට යෙදී ඇති බැවින්, ශ්‍රී ලංකාවද ලෝක ප්‍රජාව සමඟ එක්ව සිටින අතර, මෙම දිනය අපට සිහිපත් කර දෙන්නේ
තැනැත්තන් වෙළඳාම යනු තවදුරටත් දුරස්ථව පමණක් සිදුවන අපරාධයක් නොවන බව ශ්‍රී ලංකා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.
එය දේශසීමා හරහා මෙන්ම අපගේම සමාජය තුළ, රැකියා ස්ථානයන් තුළ, අන්තර්ජාලය සහ නීත්‍යානුකූල බවට පෙනෙන අවස්ථා පවා අවභාවිත කරමින් සිදුවිය හැකි අපරාධයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අදට (30) යෙදෙන ලෝක තැනැත්තන් වෙළඳාමට එරෙහි දිනය නිමිත්තෙන් විශේෂ නිවේදනයන් නිකුත් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සඳහන් කරනවා.
මෙවර ලෝක දිනයේ තේමාව වන “Trapped Behind the Scam” වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින නව තර්ජනයක් පිළිබඳව අවධාරණය කරන බව සඳහන් කරන ආරක්ෂක ලේකම්වරයා, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පුද්ගලයන් රවටා, ඔවුන්ට තර්ජනය කරමින් හෝ බලහත්කාරයෙන් අන්තර්ජාල වංචා සහ මූල්‍ය වංචාවන් සඳහා යොදවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවයි පවසන්නේ.
මෙවැනි වංචාවන් පිටුපස, තැනැත්තන් වෙළෙඳාමේ වින්දිතයින්ද සිටිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසනවා.
අපරාධයක නිරත වන බව පෙනෙන තැනැත්තෙකු, තර්ජනය කිරීමෙන්, බලහත්කාරයෙන්, වංචාවෙන්, රැවටීමෙන් හෝ ඔහුගේ හෝ ඇයගේ පීඩාකාරී තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමෙන් තැනැත්තන් වෙළෙඳාමට ගොදුරු වූ වින්දිතයෙකු විය හැකි බව සඳහන් කරන ආරක්‍ෂක ලේකම් එබැවින්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේයක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි පවසන්නේ.
ඔහු පවසන්නේ මෙලෙස වෙනස් වන තැනැත්තන් වෙළඳාමේ නව ස්වරූපයන්ට ගැළපෙන ප්‍රතිචාරයක් සඳහා සියලු පාර්ශවයන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතු ක්‍රියා පිළිවෙතක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කරන බවයි.
තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයින් හඳුනාගැනීම, ඔවුන්ට ආරක්‍ෂාව සහ සහාය ලබා දීම, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ වින්දිතයින්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එහෙත්, මෙම ප්‍රයත්නය රජයේ වගකීමක් පමණක්ම නොව, සෑම පුරවැසියෙකුටම, සෑම ආයතනයකටම සහ සෑම ප්‍රජාවකම වගකීමක් බව මතක්කර දෙන ආරක්ෂක ලේකම්වරයා මෙම ජාත්‍යන්තර දිනයේදී, සියළු දෙනාගේ මානව ගෞරවය ආරක්‍ෂා කිරීම, වින්දිතයින් හා සම්බන්ධව සහකම්පනයෙන් යුතුව කටයුතු කිරීම සහ මිනිසුන් සූරාකෑමට ලක්කරමින් ලාභ ලබන අපරාධ ජාල පරාජය කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
කිසිදු මනුෂ්‍යයෙකු වෙළෙඳ භාණ්ඩයක්, සූරාකෑමේ මෙවලමක් හෝ මෙම අපරාධයේ ගොදුරක් නොවන සමාජයක් ගොඩනැගීමට අපි සැවොම එක්ව කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.













