සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුයි – ජනපති

සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුව ඇති බවත්, ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ සහතික කළ හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

එබැවින් නිදහස් සෞඛ්‍ය සේවාවේ දියුණුව කෙරහි දක්වන අවධානයම, පොදු ප්‍රවාහන සේවාවේ උන්නතිය වෙනුවෙන් යොමු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමින්.

නව සැලැස්මක් ඔස්සේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රවාහන සහ මහාමාර්ග ක්ෂේත්‍රය තුළ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන්ව විමසා බැලුවා.

පැරණි බස් රථ සංචිත ක්‍රම ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කරමින් නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, නගරාශ්‍රිත කෙටි දුර ධාවනය සඳහා මෙට්‍රෝ බස් රථ වැනි පහසුකම් සහිත බස් රථ සංචිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජනතාවට සුවපහසු ගමනාගමනයක් සහතික කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කළා.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති, නාගරික ප්‍රදේශ ආශ්‍රිත කසළ කළමනාකරණ ව්‍යාපෘති මෙන්ම CITY BRANDING ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල 2026 වසරේ ප්‍රගතිය, මෙම වසර් ජනතා අයිතියට පත් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසර වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුවා.

ලබන වසරේදී නිම කළ හැකි ව්‍යාපෘති තෝරා ගෙන ඒවාට ප්‍රමුඛතාව ලබා දෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදේශ ණය ආධාර යටතේ සිදුවන ව්‍යාපෘතිවලදී, අවසාන ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව එම ව්‍යාපෘති අනුමත නොකළ යුතු බවටද උපදෙස් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted