සැක සහිත වෙබ් සබැඳි හරහා මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් දෙන වංචනික කෙටි පණිවුඩ සහ වට්ස්ඇප් පණිවිඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය රියදුරන්ට අනතුරු ඇඟවීමක් කරනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් (DMT) පැමිණෙන බව දැක්වෙන එම පණිවිඩවල සඳහන් වන්නේ, චෝදනා එල්ල වන රථවාහන වැරදි සඳහා සතියක් ඇතුළත දඩ මුදල් ගෙවිය යුතු බවයි.
කෙසේ වෙතත්, රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර පැවසුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එවැනි දැනුම්දීම් නිකුත් කර නොමැති බවත්, එම පණිවිඩ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවයි.
නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහජනතාවගෙන් ඉල්ලා සිටියේ එලෙස පැමිණෙන සබැඳි විවෘත නොකරන ලෙසත්, පුද්ගලික හෝ බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසත් හෝ එම පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
බලපෑමට ලක් වූ ඕනෑම අයෙකු වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසට ඔහු දන්වා සිටිනවා.













