ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 08ට කල් යයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුලු දේපළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබාගත් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 08 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කොළඔ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ යළි කැඳවු අවස්ථාවේ දී මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාළව පැමිණිල්ලේ සාක්ෂි අංක 03 සහ පැමිණිල්ලේ සාක්ෂි අංක 01 අධිකරණයේ දී අද (09) සාක්ෂි ලබා දුන් අතර ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද අවවාද කළා.

සිද්ධියට අදාළ පළමුවන විත්තිකරුවන වන හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහ හානි පූර්ණ කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් සහ හිටපු මහවැලි අධ්‍යක්ෂක කීර්ති බී කොටගල සහ හානි පූර්ණ කාර්යාලයේ (වැඩ බලන) හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමන් කුමාරි අධිකරණයේ පෙනී සිටියා.