ඊයේ (26) දිනයේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් බරපතළ සාවද්‍ය සහ මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ බව සඳහන් කරන අතර එලෙස සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයිඅ අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.
එම නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ, වරුණ රාජපක්ෂ නමැත්තා විසින් එහිදී ප්‍රකාශ කරන ආකාරයට, චරිත් අබේසිංහ නම් පුද්ගලයා කිසිදු අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දුරකථන ඇමතුම් ලබාදී නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්..
‘අද (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදුකොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කළ යුතුව ඇත.
මෙම මාධ්‍ය හමුවේදී ඔහු ඊයේ (25) දිනයේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත් ප්‍රකාශ කරයි.
මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වන අතර එබඳු ප්‍රකාශයක් පාතාල සබඳතා හා බැඳුණු අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද යන්න හා බංකොලොත් වී ඇත්ද යන්න පෙන්වා දෙයි. අනෙක් අතට වරුණ රාජපක්ෂ නැමැත්තා ලවා මෙබඳු අතේ රෝලක් මාධ්‍ය හමුවේ කියවීමට තරම් නිවට තත්වයකට සමගි ජන බලවේගය වැනි පක්ෂයක් වැටී තිබීම කණගාටුදායකය.
වෙනත් පක්ෂවලට විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට අවශ්‍ය වුවද අපරාධකරුවන් අප පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැත. එසේම මෙබඳු සාවද්‍ය ප්‍රකාශ කොට ඇතැමුන් අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහයද නිෂ්ඵලය.
මෙම තත්වය තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් අප පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළාදකින අතර මෙම සාවද්‍ය ප්‍රකාශයන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරමු.













