ලක්ෂ 39ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ ඩුබායි සිට පැමිණි අයෙක් අත්අඩංගුවට

රුපියල් තිස් නව ලක්ෂ අනූ දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (13) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 40 හැවිරිදි වියේ පසුවන, කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

මොහු අද (13) දින අලුයම 03.30 ට සාජා නුවර සිට, එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” සහ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 26,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 133 ක් සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මොහු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන ලබන 16 දින, මෙම දුම්වැටි තොගය සමග මොහු, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.