ශිෂ්‍ය ආරක්ෂණය, සුබසාධනය සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ඇතුළත් පොදු ආකෘතියක් මත ප්‍රාථමික පාසල් සංවර්ධනය සිදු විය යුතු බවත්, සෑම දරුවෙක්ටම අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඇති ප්‍රවේශය තහවුරු කිරීම එහි ප්‍රධාන අරමුණ වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඊයේ (11) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු වූ අතර, ප්‍රාථමික පාසලක තිබිය යුතු මූලික අවශ්‍යතා හඳුනාගෙන එම පාසල් සංවර්ධනයේදී අනුගමනය කළයුතු නිර්ණායක ඇතුළත් වාර්තාවක්ද ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව එම නිර්ණායක තුළ පාසල් පන්ති කාමරයක තිබිය යුතු උපකරණ, පාසල් භූමිය ශිෂ්‍ය ආකර්ෂණය ලබාගත හැකි අයුරින් නිර්මාණය කිරීම, බාහිර ක්‍රියාකාරකම් සඳහා පාසල් පන්ති කාමර සහ ක්‍රීඩා පිටි සැකසිය යුතු ආකාරය ආදි කරුණු අඩංගු වුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ඉදිරියේදී එම නිර්ණායක තවදුරටත් සංවර්ධනය කර ප්‍රාථමික පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සදහා යොදාගත හැකි පොදු ආකෘතියක් ලෙස එළිදක්වන බවයි.
එමෙන්ම ඉදිරි අවුරුදු කිහිපය තුළ එම නිර්ණායක මත පදනම්ව සෑම පළාතකම ආවරණය වන පරිදි තෝරා ගත් පාසල් කිහිපයක් ආදර්ශ පාසල් වශයෙන් සංවර්ධනය කිරීමට රජය සැලසුම් සකස් කරමින් ඇති බවද ප්‍රකාශ කළා.
2026 වසරේ අයවැය ප්‍රතිපාදන මගින් විශාල මුදලක් පාසල්වල භෞතික සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති හෙයින්, එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසටද ඇය මෙහිදී උපදෙස් ලබා දුන්නා.
තවද පාසල් සංවර්ධන ව්‍යාපෘතීන් කාර්යක්ෂමව සිදුකිරීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඒ ඒ පළාත්වලට අයත් පළාත් අධ්‍යාපන බලධාරීන්ට සහ දේශපාලන බලධාරීන්ට සම්බන්ධ විය හැකි බවද ඇය මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන සඳහා සිසුන් බඳවාගැනීමේ ප්‍රමාණය වර්ධනය කිරීම සහ ඊට සාපේක්ෂව ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු සම්බන්ධව ද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු කෙරුණා.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ඇතුළු උපදේශන කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වුණා.
එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිසක් ද මේ සඳහා එක්ව සිටියා.













