මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් සිදුකරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (09) හිමිවුණා.
මෙම වාර්තාව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදුකළ විමර්ශනවල කරුණු ඇතුළත් වන අතර, එය 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව අදාළ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර, එම අමාත්‍යවරුන්ගේ පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කරුණු යළි සලකා බලන ලැබුවා.
එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි අනාවරණය වූ මූල්‍යමය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, කාරක සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඒකමතිකව තීරණය කෙරුණා.
ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන යෝජනාව පාර්ලිමේන්තුව විසින් අද දින අනුමැතිය ලබාදෙනු ලැබුවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවක් මීට ඉහතදී මෙලෙස නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර නොතිබූනු අතර, එවැනි ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.













