ඉන්ධන නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට

හෙට (10) සහ අනිද්දා (11) දිනවලදී තවත් ඉන්ධන නෞකා දෙකක් දිවයිනට පැමිණෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුරු නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අනිද්දා (11) දිනයේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නියමිත බවයි.

මේ අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 29,000ක් රැගත් නෞකාවක් හෙට (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹ වරායේ ඉන්ධන භාණ්ඩ ගොඩබෑම සිදු කරමින් සිටිනවා.