උදා වූ උතුම් වෙසක් මංගල්‍යය සහ ජාතික පරිසර සතියට සමගාමීව, මෙරට ශාක සංරක්ෂණ ඉතිහාසයේ පියවරක් සනිටුහන් කරමින් “අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ” වැඩසටහන සහ පරිසර ජාතික වැඩසටහනේ ආරම්භය අද (30) වෙසක් පුන් පෝ දින උඩුගම්පොල ශ්‍රී සුධර්මානන්ද පුරාණ මූල මහා විහාරස්ථානයේ දී පරිසර අමාත්‍යාංශයේ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළේ පළමු දිනය අද (30) දිනට යෙදී ඇති අතර, එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ “ආකල්ප ප්‍රවර්ධනය තුළින් පරිසර සංරක්ෂණය” යන්නයි.
පරිසරය රැකීම නීතිවලට පමණක් සීමා නොකර, මිනිස් සිත්සන් තුළ ආධ්‍යාත්මික හා ගුණාත්මක ආකල්පමය වෙනසක් ඇති කිරීම ඔස්සේ ආකල්ප ප්‍රවර්ධනය තුළින් පරිසර සංරක්ෂණය සිදු කිරීම මෙහි මූලික අරමුණයි.
බෞද්ධ සංස්කෘතිය තුළ ශාක වන්දනාව සහ ස්වභාවධර්මයට ගරු කිරීම ආගමික ජීවන රටාවක් හා බැඳී පවතී. උතුම් වෙසක් පොහෝ දිනක, බුදුවරුන් විසිඅට නමකගේ බෝධි ඥානය නියෝජනය කරන “අටවිසි බෝධීන් වහන්සේලා” රෝපණය කිරීම හරහා සමාජය තුළ පරිසරය කෙරෙහි ඇති භක්තිය සහ ආකල්පමය සබඳතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙනවා.
මෙම වැඩසටහන හුදෙක් එක්දින රෝපණ උත්සවයකට පමණක් සීමා නොවන්නක්.
නව රජයේ හරිත ප්‍රතිපත්තියේ දිගුවක් වන අතර එය පරිසරය සහ ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් දියත් කර ඇති දීර්ඝකාලීන ජාතික ශාක සංරක්ෂණ වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් වනවා.
අනාගත පරපුර උදෙසා මෙරට වනාන්තර ඝනත්වය ඉහළ නැංවීම, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක සුරැකීම සහ නාගරික හා ග්‍රාමීය කලාප හරිතකරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මෙමඟින් තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.
ස්වභාවධර්මයේ පැවැත්ම උදෙසාත්, මිනිස් සංහතියේ යහපත උදෙසාත් දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ රෝපණය කරනු ලබන නා, සල්, කුඹුක්, මුරුත, මාර, දිවුල් සහ ඇසතු (බෝ) ඇතුළු අටවිසි බෝධි වෘක්ෂයන් සතුව අමිල පාරිසරික, ඖෂධීය සහ ජෛව විවිධත්ව වටිනාකමක් පවතිනවා.
පරිසර අමාත්‍යවරුන්ගේ උපදෙස් අනුව පැවති මෙම වැඩසටහන සදහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී කුමාරගම, අතිරේක ලේකම් සුධීර ජයරත්න මෙන්ම සැදැහැවතුන් පිරිසක් සහභාගි වුණා.













