තරුණ පරපුරේ අධ්‍යාත්මික සංවර්ධනය ආගමික ප්‍රබෝධය මගින් අත්පත් කර ගත යුතුයි – ජනපති

මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සදහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත්, එම කාර්යයේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද ලංකාවේ පළමු වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සඳහා තිබූ දේශපාලන බලය බිඳ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය නොලැබෙන බවද අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට අද (29) පෙරවරුවේ එක් වෙමින්.

වත්මන් සමාජය තුළ ඇති වටිනාකම් සැබෑ වටිනාකම් නොවන බවත්, රටට නව හර පද්ධතියක් සහ වටිනාකම් පද්ධතියක් හඳුන්වා දිය යුතුව තිබෙන බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, සියලු සංස්කෘතින්ට සහ අනන්‍යතාවලට ගරු කරන, සහකම්පනයෙන් යුත් සමාජයක් අවශ්‍ය බවද අවධාරණය කළා.

අනාගත සමාජයේ නිර්මාපකයා වන වත්මන් තරුණ පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැඟීමේදී තරුණ භික්ෂුන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් ඉටු කරනු ලබන ශාසනික සහ සමාජයීය මෙහෙවරද ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා.

විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති පුජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ඇසුරින් සකස් කළ“දිවි මං සදහම්” කෘතිය සහ විහාරස්ථානයේ පරිගණක යෙදුම එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.

එමෙන්ම ගනේවැව පුරාණ විහාරස්ථානයේ අභිනව ධර්මශාලාව, බෝධිඝරය, ඝණ්ඨාර කුලුන සහ දාන ශාලාව විවෘත කිරීමද මේ හා සමගාමීව සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක..

“පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ අපේ රටේ තරුණ පරපුර අධ්‍යාත්මිකව අවදි කිරීම සඳහා විශාල වෙහෙසක් දරනවා. මා හිතනවා එම ව්‍යායාමයේ ඉතා වැදගත් අවස්ථාවකටයි අද අපි සහභාගී වී සිටින්නේ. උන්වහන්සේ මෙම භූමියේ වැඩ සිටිමින් සෑම සතියකම තරුණයන් දහස් ගණනක් කැඳවා එම තරුණ තරුණියන්ට යහපත් ගමන් මාවත පිළිබඳ ධර්ම දේශනා පවත්වනවා. එම කටයුතු වෙනුවෙන් අද ඉතා වටිනා ධර්ම ශාලාවක් ඇතුළු විහාරාංග කිහිපයක් විවෘත වෙනවා.
උන්වහන්සේගේ ධර්ම චාරිකාව අපේ රට මේ මොහොතේ මුහුණ දී සිටින, විශේෂයෙන් අපේ තරුණ පරපුර මුහුණ දී තිබෙන විශාල අභියෝගයකින් මුදා ගැනීම සඳහා විශාල පිටිවහලක් වන බව මම විශ්වාස කරනවා.
වත්මන් තරුණ පරපුරට අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අවස්ථා තමන්ගේ ජීවිතය යහපත් මඟට ගෙන ඒම සඳහා තෝරා ගන්නේ කොහොමද කියන සන්ධිස්ථානයකට අපි පැමිණ සිටිනවා. අපේ තරුණ පරම්පරාවට ලෝකය වඩා සමීපයි. අතේ තිබෙන ජංගම දුරකථනයෙන් ලෝකයටම ප්‍රවිෂ්ට වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා තොරතුරු, සිදුවීම්වලට ඉතා වේගයෙන් ළඟා විය හැකියි. තාක්ෂණයේ ඇති වී තිබෙන මහා පරිවර්තනය හේතුවෙන් ඔවුන්ට දැනුම, අත්දැකීම් විශාල ප්‍රමාණයක් එක් කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම, සන්නිවේදන පද්ධති සහ ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමේ ප්‍රතිඵල අපේ තරුණ පරපුරට නෙළා ගත හැකියි.
ඒ හා සමාන ලෙසම විද්‍යාව සහ තාක්ෂණය තුළ සිදුව තිබෙන මහා පරිවර්තනය මත්ද්‍රව්‍ය, අපචාර සහ සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ වීම්, තාක්ෂණය ඔස්සේ සිදු වන මුල්‍ය ගනුදෙනුවලටද අවස්ථාව විවර වී තිබෙනවා.
අද අපි මත්ද්‍රව්‍ය ජාවාරම පරාජය කිරීම වෙනුවෙන් විශාල වැඩසටහනක් දියත් කර තිබෙනවා. ඒ අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් 31 දින සිට අද වන විට ගත වූ මාස 07 තුළ විෂ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අපි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පමණයි. එසේ නම් රට තුළ තව කොපමණ ප්‍රමාණයක් පැතිර තිබෙනවාද සහ ඊට තරුණ තරුණියන් කොපමණ ප්‍රමාණයක් ගොදුරු වී සිටිනවාද කියා තේරුම්ගත හැකියි.
මේ විනාශකාරී දොරටුව දෙසට ගමන් කරන තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමේ දිශාවට කැඳවාගෙන එන්නේ කොහාමද කියන එක මේ වන විට අප සතුව තිබෙන විශාලම අභියෝගයයි. අද සමාජයක් ලෙස අපේ මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකවරු, රජයක් ලෙස අපත්, සමස්ත සමාජයත් මුහුණ දෙන අභියෝගය එයයි.
මේ විනාශකාරී දොරටුව පිටුපස විශාල බලයන් තිබෙන බව අපි දන්නවා. මේ පිටුපස දේශපාලන බලය, රාජ්‍ය බලය තිබූ යුගයක් තිබුණා. ඒ වගේම, මුදල් බලය තිබෙනවා. විශාල බලයන්ගෙන් අනුග්‍රහය ලැබූ දොරටුවක් තමයි මත්ද්‍රව්‍ය සඳහා විවෘත වී තිබෙන දොරටුව. එසේ නම්, අපි එම දොරටුව වසා දැමිය යුතුයි. ඒ සදහා ඊට වඩා වැඩි බලයක් අපි යෙදවිය යුතුයි. මා මෙහිදී ආඩම්බරයෙන් කියනවා ලංකාවේ පළමුවතාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා තිබූ දේශපාලන බලය අපි බිඳ දමා තිබෙනවා. අද ඒ කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ කියන සහතිකය මට දෙන්න පුළුවන්. ඒ වගේම අපේ පොලිසිය ඇතුළු ඒ සම්බන්ධව කටයුතු කරන කණ්ඩායම විශාල වෙහෙසක් දරනවා එම දොරටුව වසා තැබීමට. අපිට රජයක් ලෙස අණපනත්වලින්, නීතිවලින් කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. එහෙත් මෙය වසා තැබිය හැකි වන්නේ නීතියෙන්, අණපනත්වලින් සහ රාජ්‍ය බලයෙන් පමණක් නොවන බව මම විශ්වාස කරනවා.
එහිදී තමයි අපිට කත්නෝරුවේ සිරිධම්ම වැනි තරුණ ස්වාමීන් වහන්සේ මුණ ගැසෙන්නේ. මේ විනාශකාරී දොරටුව වසා තැබීම සදහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.
අද අපේ කත්නෝරුවේ හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනා සඳහා තරුණ පරපුර තුළ ආකර්ෂණයක් තිබෙනවා. උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද කරුණු අධ්‍යයනය කරනවා. එය ඉතා වැදගත් දෙයක්. උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදි ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයකට මෑත කාලයේ තම ධර්ම චාරිකාවේදී ධර්මය දේශනා කර තිබෙනවා නම් මම හිතනවා ඉන් බහුතරයක් පිරිස තරුණ පරපුරයි.
අද තරුණ පරපුර පන්සල සමග, ධර්මය සමග ප්‍රබෝධවත්ව සම්බන්ධ වී සිටිනවා. එහි නියමු කාර්යයක් අපේ සිරිධම්ම තරුණ ස්වාමීන් වහන්සේ ඉටු කර තිබෙනවා. තරුණ පරපුර විනාශකාරී දොරටුවෙන් අනාගතය සඳහා ප්‍රවිෂ්ට වන දොරටුව වෙත කැඳවාගෙන ඒමේදී භික්ෂුන් වහන්සේ වෙත පැවරී ඇති කාර්යභාරය විශාලයි. නීතිය, බලය, ආයතන පද්ධතිය මගින් කළ හැකි කාර්යභාරය අපි කරන්නම්. අධ්‍යාත්මික සුවය, මනස වෙනස් කිරීම සහ නව දිශාවකට තරුණ පරපුර යොමු කරමින් විනාශකාරීත්වයෙන් මුදා ගැනිමේ මෙම කාර්යභාරය නීතියට පමණක් කළ නොහැකියි. ඒ සඳහා අධ්‍යාත්මික පරිවර්තනයක් අවශ්‍යයි.
එහිදී සමාජයට නව හර පද්ධතියක් සහ වටිනාකම් පද්ධතියක් හඳුන්වා දිය යුතුව තිබෙනවා. වැඩිහිටියන්ට ගරු කිරීම වැනි ගුණධර්ම කෙරෙහි තරුණ පරපුර යොමු විය යුතුයි. ඒ වගේම කුමන සංස්කෘතියකට, ජාතියකට, ආගමකට අයත් වුවද එම සෑම සංස්කෘතියකටම, අනන්‍යතාවකටම ගරු කරන සහ වටිනාකමක් ලබා දෙන සමාජයක් අපිට අවශ්‍යයි. එහිදී තරුණ පරපුර තුළ අධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කිරීම ඉතා වැදගත් වෙනවා. මෙම කාර්යයේදී පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් ඉටු කරනු ලබන මෙම මෙහෙවර අගය කළ යුතුයි. ඒ වෙනුවෙන් උන්වහන්සේට මගේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27
Video thumbnail
"තෙරුවන් සරණයි අපේ ජනාධිපතිට"කත්නෝරුවේ හිමිගේ පන්සලට ගිය ජනපතිට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය -
01:12
Video thumbnail
මේ තමයි නව යුගයක ඇරඹුම - කවදාවත් බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ
06:47
Video thumbnail
කත්නෝරුවේ හිමි ජනපති ඉදිරියේම කිව්ව සැර කතාව - ශාසනයේ පැවැත්ම තීරණය කරන එක ජනපතිට කරන්න බෑ
03:20
Video thumbnail
ටොම්පච කියලනේ බලය ගත්තේ - දැන් උද්දච්ච වෙන්න එපා..ටිල්වින් කියන්නේ ඇමති කෙනෙක්ද ?
08:59
Video thumbnail
"ඊබ්‍රාහිම්, බෝම්බකරුගේ තාත්තා හිටියේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ"නාමල් එළියට ආපු ගමන් කිව්ව දේ
02:33
Video thumbnail
26 දෙනෙක් රෝහල්ගත කළ බිහිසුණු බස් අනතුර - මෙන්න එහි නවතම දර්ශන
01:10