උසස් පෙළ විශිෂ්ඨයන්ට ලැබෙන විදෙස් සරසවි ශිෂ්‍යත්ව පිළිබද අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව, අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් ඉහළතම දක්ෂතා දැක්වූ සිසුන් 200 දෙනෙක්ට ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ඉහළම ස්ථාන හිමි විදේශීය විශ්ව විද්‍යාල වල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර පරිපාලනය කරනු ලබන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පමණක් වන බව එම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙනවා.

2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගෙන් මෙහි දෙවන අදියර සඳහා දැනට අයදුම්පත් කැඳවා ඇති බවද අමාත්‍යංශය පවසනවා.

මෙම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනට තමන් සම්බන්ධ බව පවසමින් විවිධ අනවසර පෞද්ගලික නියෝජිතයන් සහ ආයතන, සිසුන් හා දෙමාපියන් නොමඟ යවන බව අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර ඇති බව අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව පහත කරුණු පිළිබඳව මහජනතාව වෙත අමාත්‍යාංශය විසින් විශේෂයෙන් දැනුම් දෙනවා.

  • කිසිදු පෞද්ගලික ආයතනයක්, උපදේශන සේවාවක් හෝ නියෝජිතයෙකු සමඟ අමාත්‍යාංශයට කිසිදු හවුල්කාරිත්වයක්, ගිවිසුමක් හෝ සම්බන්ධතාවයක් නොමැත.
  • අමාත්‍යාංශය නියෝජනය කිරීමට, අයදුම්පත් සැකසීමට, අපේක්ෂකයින් නිර්දේශ කිරීමට හෝ තේරීම් කටයුතු වලට බලපෑම් කිරීමට කිසිදු පෞද්ගලික පාර්ශවයකට අවසර ලබා දී නැත.
  • අයදුම්පත් භාර ගැනීම සහ ඇගයීම විනිවිද භාවයකින් යුත්, තරඟකාරී සහ කුසලතා මත පදනම් වු ක්‍රියාවලියක් හරහා සෘජුවම අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.
  • අයදුම්කරුවන් අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා කිසිදු නියෝජිතයෙකුගේ හෝ අතරමැදියෙකුගේ සහය ලබා ගැනීම අවශ්‍ය නොවේ.
  • අනවසර තෙවන පාර්ශ්වයන් සමඟ ගනුදෙනු කිරීමෙන් පැන නගින කිසිදු ප්‍රතිඵලයක් සඳහා වූ වග කීම අමාත්‍යාංශය විසින් භාර නොගනු ඇත.
  • අමාත්‍යාංශ නිල නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස සිසුන්ට සහ දෙමාපියන්ට තරයේ උපදෙස් දෙනු ලැබේ.
  • මෙම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව වැරදි තොරතුරු පතුරුවන හෝ මහජනතාව නොමඟ යවන ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දැඩි නීතිමය පියවර ගනු ලැබේ.
  1. මේ දරැවො රට යවන්නෙ ඇයි ඒවාට ගෙවන්නෙත් මේ රටේ මිනිසුන් ගෙ සල්ලි නේ..අඩුම ගානෙ එක ලමයෙක්ට කෝටි 10 විතර වියදම් යන වැඩක්…එහෙම වියදම් කරල ඒකෙන් බලාපොරොත්තු වන්නෙ කුමක් ද…ලෝකෙ දැන්මෙකට පසු මෙයාලා ආපහු ලංකාවට එන්නෙ නැ…. එතකොට අපි නොමිලේ අධ්‍යාපන දිල ා රටේ සල්ලි වියදම් කරල උගතුන් හදල පිටරට වලට පරිත්‍යාග කරනවා…. දියුණු රටක ලමයෙක්ට එහෙම හොද අද්‍යාපනයක් නොමිලේ දෙන්න විසාල මුදලක් වැයවෙනවා ඒ නිසා තමා එයාලා අඩු මුදලට විදෙස් රටවලින් උගතුන් ⁣හයර් කරන්නෙ ..අපි වගෙ උසස් අධ්‍යාපන දක්වාම නොමිලේ උගන්වන රටවල ට බුද්ධ ගලනය විසාල පාඩුවක් …
    ලමයෙක් උස් මහත් කරල අනුන් ට දුන්නා වාගෙ වැඩක් … හැකර් නොම්මර 2 තමා මේ රගන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්