විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිව්දෙනෙක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දී තිබෙනවා.
හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙක් වන රත්න දේශප්‍රිය විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයන් ලෙස මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නා.
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව, අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරනු ලබන අවස්ථාවකදී හෝ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 (අ) වගන්තියට යටත්ව යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති විටකදී හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලික අංශයේ කවර තැනැත්තෙකුට කවර හෝ ආකාරයෙන් හෙළිදරව් නොකරන බවටත් සාකච්ඡා හෝ ප්‍රකාශ කිරීම සිදු නොකරන බවටත් දිවුරුම් දීම සිදුකළ යුතු වනවා.
විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති, විගණකාධිපති සමුදිකා ජයරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.













