මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6.00 සිට 10.00 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඔවුන්ගේ ද දායකත්වය ඇතිව රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම මුහුණදී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය හමුවේ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට උපරිම දායකත්වය ලබාදීම ආයතනික සහ පුද්ගලයන් වශයෙන්ද මේ වන විට සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.
පසුගිය සති කිහිපය තුළ බලශක්තිය කළමණාකරණය පිළිබඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින් විශේෂයෙන් රාජ්‍ය සේවාවට ලබාදිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා.
එමෙන්ම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කළමණාකරණයකට ලක් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.
ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කෙරුණා.
නාගරික වශයෙන් පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කර ගැනීම සහ බලශක්තිය කළමණාකරණය වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.
ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.













