මහින්දානන්දගේ නඩුවේ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම සිතාමතා මඟහැරලා – නීතිඥවරුන්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) දෙවන දිනටත් විභාගයට ගැනුණා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.

මෙම අභියාචනා විභාගයේදී විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්‍රි සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් විසින් නඩුවේ තීරණාත්මක කරුණු කිහිපයක් අධිකරණය හමුවේ මතු කරනු ලැබුවා.

මෙහිදී ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මතු කළ ප්‍රධාන කරුණක් වූයේ, මුල් නඩු විභාගයේදී සතොස ප්‍රසම්පාදන කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව භාණ්ඩ ආනයනය කර තිබියදී, එම කාර්ය පටිපාටියට අදාළ වැදගත් කරුණු හෝ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම විසින් සිතාමතාම මඟහැර ඇති බවයි.

මෙය නඩුවේ ක්‍රියාදාමයේ ගිලිහී ගිය වැදගත් පුරුකක් බවත්, එය ඔප්පු කිරීමකින් තොරව මෙම චෝදනා පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු අවධාරණය කළා.

එසේම, මෙම නඩුවට අදාළ සාක්ෂි මෙහෙයවීමක් සිදු නොවූ බවත්, ඒ වෙනුවට මුල් සිටම දේශපාලන අවශ්‍යතා මත එවකට අමාත්‍යවරයෙකු වන 2 වන විත්තිකාර-අභියාචක සහ එවකට සතොස ආයතනයේ සභාපතිව සිටි 1 වන විත්තිකාර-අභියාචක ඉලක්ක කර ගනිමින් විමර්ශනය දියත් කර ඇති බවත් නීතිඥවරුන් අධිකරණයට තහවුරු කළා.

ඉන් අනතුරුව කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා , අල්ලස් කොමිසම ගොනු කළ අධිචෝදනා පත්‍රයේ එල්ල කර තිබූ “අනුබල දීම” චෝදනාවෙන් නිදොස් වීම මත, “කුමන්ත්‍රණය” චෝදනාවට මහින්දානන්ද අලුත්ගමගේ වැරදිකරු කිරීම නීතිවිරෝධී බව පෙන්වා දුන්නා.

එමෙන්ම අල්ලස් පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ “කුමන්ත්‍රණ” චෝදනා ගොනු කිරීම නීතිවිරෝධී සහ බල ශූන්‍ය බවටද තර්ක කළා.

තවද ප්‍රශ්නගත ක්‍රීඩා භාණ්ඩ ආනයනය හරහා රජයට පාඩුවක් සිදුවූ බව ඔප්පු කර නොමැති බවත්, සතොස පුද්ගලික ආයතනයක් ලෙස සංස්ථාගතව තිබීම නිසා එහි සිදුවන පාඩුවක් නීතිමය වශයෙන් රජයට සිදු වූ පාඩුවක් ලෙස සැලකිය නොහැකි බවත් ඒ අවධාරණය කළා.

එසේම භාණ්ඩ කිසිසේත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොමැති බවත්, ඒවා ගබඩා භාරකරු විසින් කැළණිය, මාබෝල ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පෙන්වා දුන්නා.

තවද, ප්‍රසම්පාදන කමිටු සාක්ෂිකරුවන් ඇතුළු අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් හත් දෙනෙක් පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවා නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ නඩු විභාගය සම්බන්ධ මතවාද ගොඩනගමින් නඩු කථනය මෙහෙයවීම අතිශය නුසුදුසු ක්‍රියාවක් බවත් නීතිඥවරුන් විසින් විවේචනයට ලක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !