AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා අස්සේ අරක්කු බෙදූ නාකොටික් සැරයන්

අජිත් කළුතර දිස්ත‍්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු දැනට වසර කිහිපයකට පෙර පොලිසියට බැඳුණි. ඒ පොලිස් රියැදුරකු වශයෙන්ය.

සේවයට බැඳී ටික කලකදී අජිත්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට මාරු කරන ලදී. කලක් එම අංශයේ සේවය කරද්දී පොලිස් සැරයන්වරයකු ලෙසද ඔහු උසස්වීම් ලැබුවේය.

වසර කීපයක් ගතවෙද්දී අජිත්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලද වැටුප ප‍්‍රමාණවත් නොවුණි. එම නිසා ඔහු සමහර පොලිස් නිලධාරීන් මෙන් පගාව ගැනීමට පුරුදු වූයේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කළ නිසා අජිත්ට පගාව ගැනීමට අමාරු වූයේද නැත.

ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විවිධ අයුරින් උදව් උපකාර කරමින් අජිත් මාසිකව විශාල මුදලක් ඉපයූවේය. සමහරු අජිත්ව හැඳින්වූයේ පගා මරුවකු ලෙසින්ය. එලෙස කලක් ගතවෙද්දී පොලිසියේ ඉහළ නිලධාරීන්ට ද අජිත් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබුණි.

අවස්ථා කිහිපයකදී ඉහළ නිලධාරීන් අජිත්ට තරයේ අවවාද කළේ ‘‘මුදලට වහල් නොවී තම රාජකාරිය නිසියාකාරව සිදු කරන ලෙසයි.’’ එහෙත් අජිත් එය සත පහකටවත් ගණන් ගත්තේ නැත. සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී නන් අයුරින් උදව් උපකාර කරමින් නීති විරෝධී අයුරින් ඔවුන්ගෙන් මුදල් ලබා ගත්තේය.

පොලිස් දෙපාර්තමේන්තුවට එන්න එන්නම අජිත් ගැන පැමිණිලි ලැබුණි. ඉන් බහුතරයක් පැවසුවේ ‘‘ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් අයථා ලෙස මුදල් උපයන බවයි.’’

මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කරන අජිත් ළඟින්ම ඇසුරු කරන සැරයන්වරයකු දිනක් ඔහුට මෙසේ පැවසුවේය.

” මචං අජිත් උඹ ඔය කරන සෙල්ලම නවත්තපන්.”

”මොන සෙල්ලමක් ද බං.”

”මට කොළේ වහන්න එපා මම සේරම දන්නවා”

”මම එහෙම දෙයක් කරන්නේ නැහැ.”

”නැත්තෙ මොකද ? අපේ හැමෝම කියන්නේ උඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධයි කියලා.”

”මට එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. කාලෙක ඉඳන් දන්න කීපදෙනෙක් ඉන්නව එච්චරයි.”

”තවත් උඹ මට කොළේ වහන්න හදන්න එපා.

උන්ගෙන් පගාව ගන්නවා කියල උඹට විරුද්ධව පැමිණිලි ලැබිල තියෙනවා. එක නිසා පරිස්සම් වෙයන්.”

‘‘ ඔය ඉරිසියාවට කියන කතා.”

‘‘අනේ මන්දා උඹ නං කවදාවත් හැදෙන්නෙ නෑ. මම දන්නෙ මෙච්චරයි. ලොකු මහත්තුරු ටික දැන් ඉන්නෙ උඹ ගැන අවධානයෙන්.”

”හරි මචං මම ඒ සේරම බලාගන්නම්. යන ගමන් අද මගේ ගානේ පොඩි අඩියක් ගහමුද?”

”අද බෑ මචං ගෙදර වැඩ වගයක් තියෙනවා.වෙන දවසක සෙට් වෙමු.”

අජිත්ට එලෙස සිය මිතුරා ද පැවසුවේ ප‍්‍රවේශමෙන් රාජකාරිය කරන ලෙසයි. එහෙත් අජිත් එය ද ගණන් ගත්තේ නැත. සුපුරුදු පරිදි රාජකාරි කරන අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමගද සම්බන්ධතා පවත්වාගෙන ගියේය.

යළි යළිත් අජිත් ගැන පැමිණිලි වැඩිවීමත් සමග අවස්ථා කිහිපයකදීම ඉහළ පොලිස් නිලධාරීහු ඔහුට ”රාජකාරිය නිසියාකාරව කරන ලෙස පවසමින්” තරයේ අවවාද කළහ. එහෙත් පලක් වූයේ නැත. සිදු කළ නීති විරෝධී වැඩ නිසා අවසානයේ පොලිස් සැරයන් අජිත්ගේ වැඩ තහනම් කරන ලදී. ඒ 2019 වර්ෂයේදීය.

වැඩ තහනමට ලක් වූ පසු එම නිලධාරියාගේ නිල ඇඳුම් ,රාජකාරි හැඳුනුම්පත ආදී සියල්ලම භාර දිය යුතුය. එහෙත් කුමන හෝ සෙල්ලමක් දමා මොහු නිල හැඳුනුම්පත භාර දුන්නේ නැත. ඔහුගේ රජකාරි බඩු භාණ්ඩ භාරගත් නිලධාරීන් ද ඒ පිළිබඳව සැලකිලිමත් වූයේ නැත. ඒ කුමන පදනමක් මත ද යන්න අපි නොදන්නෙමු. එහෙත් එතැන සිදු වී ඇත්තේ නීති විරෝධි ක‍්‍රියාවකි.

වැඩ තහනමට ලක් වී නිවසේ සිටි අජිත් මෙලෙස කල්පනා කළේය.

”මම කරල තියෙන වැඩත් එක්ක ආපහු මට ජොබ් එක හම්බ වෙන්නෙ නැහැ . හිරේ විලංගුවේ වැටෙන්නත් වෙයි. තාම පොලිස් අයි ඞී එක මගේ ළඟ තියනවනේ. නිල ඇඳුම් භාර දුන්නට ඒක මම භාර දුන්නෙ නැහැනේ. ඒක නිසා එය භාවිතා කරමින් සල්ලි ටිකක් හොයාගන්න ඕනෑ.”

එලෙස සිතූ ඔහු තමා දන්නා හඳුනන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙලෙස පැවසුවේය.

”මාව ඉන්ටඩික් කළා තමයි. ඒත් කිසි දේකට බය වෙන්න එපා. ඇතුළෙ තියෙන කන්ටෑක්ට් තව මට තියනවා. ඒ වගේම පොලිස් අයිඩින්ටි කාඞ් එකත් මගෙ ළග තියෙනවා. ඒකෙන් කරන්න බැරි දෙයක් නෑ. මොනව හරි වැඩක් වෙනව නම් මට කියන්න. මම කරලා දෙන්නම්.”

වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයා ඉන්පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී වැඩ වලට තම රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් හවුල් විය. කලක් එලෙස ගතවෙද්දී පොලිස් නිලධාරීන්ට මෙම සැරයන්වරයා ගැන යළිත් පැමිණිලි ලැබෙන්නට පටන් ගත්තේය. එම නිසා පොලිස් නිලධාරීහු මොහු ගැන විමසිල්ලෙන් සිටියහ.

දිනය පසුගිය විසිඑක් වැනි දා ය. කොවිඞ් වසංගතය හේතුවෙන් රට පුරාම සංචරණ නීති දමා තිබුණි. එදින මොහුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ මෙලෙසින්ය.

”සර් මම කතාකරන්නේ ලක්මාල්.”

”ඔව් කියන්න ලක්මාල්.”

”සර් මට ලොකු උදව්වක් කරන්න ඕන.”

”ඒ මොකක්ද බං.”

”අරක්කු බෝතල් වගයක් තියෙනවා.

වැලිපැන්න ට ගිහින් දෙන්න ඕන. සර්ගෙ ගාන මම දෙන්නම්. ”

”හරි ඒ ගැන බය වෙන්න එපා. මම වැඬේ කරල දෙන්නම්. කොහොමද මම අරන් යන්න ඕන.”

”වෑන් එකක් දෙන්නම්. ඒකෙ තියෙනවා බෝතල් ටික. අරන් යන්න තියෙන්නෙ වලගෙදරට.”

”හරි බං වෙලාවට මම එන්නම් බඩු ටික සෙට් කරල තියපන්.”

වැඩ තහනමට ලක්වූ සැරයන්වරයා එම දුරකථන ඇමතුමට අනුව නියමිත වෙලාවට දර්ගා නගරයේ පැවසූ ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණෙන විටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වෑන් රථයක් තුළ මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් 25 ක් පමණ අසුරා තිබුණි.

සුපුරුදු පරිදි වැඩ තහනමට ලක්වූ සැරයන්වරයා වෑන් රථයේ එම මත්පැන් බෝතල් තොගය ද සමගින් වලගෙදර බලා පැමිණියේය.

කළුතර දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට වැඩ තහනමට ලක්වූ මෙම සැරයන්වරයා එදින සිදු කිරීමට ගිය නීති විරෝධී මත්පැන් බෝතල් ප‍්‍රවාහනය කිරීම පිළිබඳ කල්තියාම දැන ගන්නට ලැබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් පිරිසක් මොහු එන මාර්ගයේ රැකවල්ලාගෙන සිටියේය.

වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයා දර්ගා නගරය පසුකර නාකන්දලට ළඟාවෙමින් සිටියේය. ඒ සමඟම මාර්ගයේ රැකවල්ලාගෙන සිටි පොලිස් නිලධාරීන් එම වෑන් රථය නවතන ලෙස අණ කළේය.

කිසිදු බියක් සැකක් නොමැතිව වැඩ තහනමට ලක්වූ සැරයන්වරයා වෑන් රථය නැවැත්තුවේය. එලෙස නවතා ඔහු පොලිස් නිලධාරීන්ට පැවසුවේ තමන් ද පොලිස් නිලධාරියකු බවයි.

එයට පිළිතුරු වශයෙන් එක් පොලිස් නිලධාරියකු ඔහුට මෙලෙස පැවසුවේය.

”ඔව් අපි දන්නවා ඔයා වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරියෙක් කියලා. ඒක නිසා කරදර නොකර අපිට වෑන් රථය පරීක්ෂා කරන්න දෙන්න.”

කුමක් හෝ වරදක් සිදුවී ඇති බව වැඩ තහනමට ලක්වූ පොලිස් සරයන්වරයාට සිතුණිි. එම නිසා ඔහු නොයෙක් දේ පවසමින් ගැලවී යෑමට උත්සාහ කළේය. එහෙත් එය අසාර්ථක විය.

අවසානයේ ඔහු අත්අඩංගුවට පත්වූයේ සංචරණ නීති උල්ලංඝනය කරමින්, බලපත‍්‍රයක් නොමැතිව වැඩි මිලට විකිණීම සඳහා මත්පැන් බෝතල් 25ක් ප‍්‍රවාහනය කිරීමේ නීති විරෝධී ක‍්‍රියාව යටතේය.

අත්අඩංගුවට පත්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ වැඩ තහනමට ලක්වූ එම සැරයන්වරයා තම රාජකාරී හැඳුනුම්පත අවභාවිතා කරමින් තවත් මෙවැනි නීති විරෝධී ක‍්‍රියා සිදුකර ඇත්දැයි මෙම ලිපිය ලියන මොහොත වන විටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?