සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (12) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්‍ෂක මුදල් ඇපයක් අධිකරණයෙන් නියම කළා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම කළා.
එම නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, මෙම සිද්ධිය ඇප දිය නොහැකි වරදක් වුවද ඇප ලබා නොදීමට තරම් කරුණු අල්ලස් කොමිසම විසින් බී වාර්තාවට ඇතුලත් කර නොමැති බවද ඇප තීන්දුව ප්‍රකාශවලට පත් කරමින් පැවසුවා.
එහිදී, තවදුරටත් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ සැකකාර පුද්ගලයා සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති කර ඇති බවට අධිකරණයට වාචිකව කරුණු දැක්වුවද එය බී වාර්තාවේ සටහන් කර නොමැති බවයි.
සිද්ධියට අදාල සැකකාර අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අද දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් සඳහන්කර සිටියේ සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වර්ධන කාර්‌යාංශය, ශ්‍රී ලංකා හෝටල් කලමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේදී සිදුව ඇති වංචාවකට අදාළව සැකකාර හිටපු අමාත්‍යවරයා එසේ අත්අඩංගුවට ගත් බවයි.
කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබා ගැනීමට හැකිව තිබිය දී “මයි ඉන්ෂුවරන්ස් බ්‍රොකර්ස්” නැමැති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කරගෙන ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රු.4,750,828.72 (රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙක) ක මුදලක් අදාල තැරැවිකාර සමාගම වෙත ගෙවීමට සලස්වා එයින් එම තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදු කිරීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ඔහුව එසේ අත්අඩංගුවට ගත් බවද අල්ලස් කොමිසම සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය පෙනී සිටි නිලධාරියා මෙසේ සඳහන් කළා.
” මෙම සිද්ධිය 2022 වර්ෂයේ සිදුවූවක්. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතන හතරක සේවකයන්ට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂනාවරණයක් ලබාදීම සඳහා කටයුතු කර ඇති බවයි.ඒ අනුව එම රක්ෂනාවරණය ලබාදීම සඳහා ආයතන 8ක් තෝරා හඳුනාගෙන තිබු නමුත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒ සඳහා තෝරාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මිල ගණන්ද කැඳවා තිබුණා. මෙසේ වසර දහයක පමණ කාලයක් රක්ෂණ ආවරණ ලබාදීමට කටයුතු කර තිබුණා. නමුත් තැරැව්කාර සමාගමක් නම් කර තිබුණේ නැහැ. පසුව 2020/12/31 සැකකරු විසින් සංචාරක අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් කැඳවාගෙන සී.ආර්.එස් ව්‍යාපෘතියක් කරන බව පවසා තැරැව්කාර සමාගමට අවශ්‍යය කටයුතු සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට කියනවා 15% ක ගෙවීමක් කරන්න කියලා. නමුත් රක්ෂණ සමාගම එම ගෙවීම කරන්න බැහැ කියනවා. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට 10%ක් තැරැව්කාර සමාගමට ගෙවන්න කියලා බලපෑම් කරලා තියෙනවා. මයි ඉන්ෂුරන්ස් බ්‍රෝකර් කියන තැරැව්කාර ආයතනයට ලිපියක් යවන්න කියලා මේ සැකකරු බලපෑම් කර තිබෙනවා. සී.ආර්.ස්. ව්‍යාපෘතියට මුදල් ගෙවන්න කොමිස් මුදලක් ලෙස නොවන බව ලිඛිතව සඳහන් කරලා ලියුමක් යවන්න කියලා තියෙනවා. “
” ස්වාමීනි, සංචාරක අධිකාරියේ ජෙනරාල් සහ සභාපතිට ව්‍යාපෘතියට ගෙවන්න කියලා තියෙන්නේ ඒ අනුව නම සදහන් කරලා මෙම මුදල මෙම කම්පැනිය වෙත යවා තිබෙනවා. එම නිලධාරීන්ට රක්ෂණ සමාගමට ලිපියක් ලබා දෙන්න කියලා බලපෑම් කරලා තියෙනවා. අවස්ථා තුනකදී තැරැව්කාර සමාගමේ ගිණුම් ඉවත් කර වෙනත් ගිණුම් 5 කට බැර කරලා. ඒ මුදල් මේ දක්වා මොනාටද ගත්තේ යන්න පිළිබඳව මුදල් විශුද්ධිකරණය යටතේ පුළුල් විමර්ශනයක් කරන්න තිබෙනවා.”
” සිද්ධිය සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රකාශ රාශියක් ලබා ගැනීමට තිබෙනවා.එම අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් දියුරුම් ප්‍රකාශයක් මගින් පැහැදිලි කර තිබෙනවා. සැකකාර අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසුව එම සභාපතිට හා අධ්‍යක්ෂකවරයාට දුරකථන ඇමතුමෙන් සම්බන්ධ වී ඇති බව. ස්වාමීනි මෙම ව්‍යාපෘතිය කොහොමවත් සිදුවෙලා නැහැ. ඒ මුවාවෙන් මුදල් වංචා කරලා. සැකකරුට පෙර වැරදි තිබෙනවා මහාධිකරණයේ මිලියන 64ක මුදලක් බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ද නඩුවක් ගොනුකර තිබුණා.එම මුදල් පෞද්ගලික පරිහානියට ලබාගෙන තිබෙනවාද යන්න විමර්ශනයක් සිදුකිරීමට තිබෙනවා. එම තැරැව්කාර ආයතනය වන මයි ඉන්ෂුරන්ස් නැමැති කොම්පැනියේ හිමිකරු මුලින්ම ප්‍රකාශ ලබා දීමේදී මුදල් ඉවත් කර ගෙන තිබුණේ නෑ. නමුත් දෙවන වර ප්‍රකාශ ලබාදීමේදී ගිණුම් වලින් මුදල් ඉවත් කරගෙන තිබෙනවා. ලබා දී තිබෙන ප්‍රකාශ අනුව එම මුදල් වලින් ඉඩමක් මිලදී ගත් බවද සඳහන් වෙනවා. ස්වාමීනි මෙම ව්‍යාපෘතිය නීත්‍යානුකූලව කරන්න ඕනි දෙයක්. එම නිසා ස්වාමීනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති විය හැකි බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් ඉල්ලා සිටිනවා.”
සැකකාර අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇතුලු නීතිඥ මඩුල්ල සඳහන් කර සිටියේ, කොවිඩ් කාලයේ විදේශ රටවල සිටින ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීම සඳහා කොවිඩ් කොමිටි එකට කරන ලද ඉල්ලීමකට අදාළව මෙම මුදල් භාවිතා කර බවයි.”
” ස්වාමීනී, මගේ සේවාදායකයා සිදු කළේ කොවිඩ් සමයේ වෙනත් රටවල තියෙන ශ්‍රමිකයන් ලංකාවට නැවත ගෙන්වා ගැනීම සඳහා එරටට ගුවන් යානයක් යැවීමට ගුවන් සමාගමට අවශ්‍ය මුදල් යොදවපු එක. අල්ලස් කොමිසම පවසන පරිදි මගේ සේවා දායකයාට කිසිම මුදලක් හිමව නැහැ. අපි බොහෝ අයගෙන් ස්පොන්ෂ ශිප් එකක් ගන්න බැලුවා. එම ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් යානය යැවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට. එම අවස්ථාවේ කොරෝනා තත්ත්වය නිසා තමයි මෙසේ ක්‍රියා කළේ. රක්ෂණ සංස්ථාවටත් බැහැ කියනවා මුදල් දෙන්න. රක්ෂණ බ්‍රෝකර් කෙනෙක් ඉන්නවනම් ගෙවන්න පුළුවන් කියලා සඳහන් කරලා තිබුණා.”
” ස්වාමීනී අපි අල්ලස් කොමිසමට එන්න කිව්වම ආවා. වෙන අය වගේ අපේක්ෂිත ඇප, රිට් පෙත්සම් ඉල්ලුවේ නැහැ. අපි අධිකරණය මඟහැරියේ නැහැ. ඒ නිසා ඕනෑම ඇප කොන්දේසියක් මත මාගේ සේවා දායකයා මුදා හරින්න. එසේම ස්වාමීනී. ඔහුට ශල්‍යකර්මයක් කර තිබෙනවා. එම නිසා පැය හතරෙන් හතරට කෙටි ආහාරයක් තමයි ලබා ගන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙන්නේ. එම ආහාර වලට ප්‍රෝටීන අඩංගු ඖෂධයක් පවා එක් කරනවා. ස්වාමීනි ඒ සම්බන්ධයෙන් සලකා බලා සුදුසු ඇපයක් මත මුදා හරින්න.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලුවා.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වාචිකව පමණක් කරුණු දැක්වීම, ලිඛිතව බී වාර්තාවේ සඳහන් නොවීම නිසා සැකකරු ඇප මත මුදා හරිමට නියෝග කරන ලෙසයි.
උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන,ප්‍රසන්න රණවීර, සාගල රත්නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් රාශියක් අධිකරණයට පැමිණ සිටියා.





