ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් ඊයේ (05) පස්වරුවේ හිඟුරක්ගොඩ රෝහල ඉදිරිපිට ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක විදුලිය විසන්ධි කිරීමක් සිදුකර තිබෙනවා.
විදුලි බිල නොගෙවීම මත විදුලි සැපයුම විසන්ධි කිරීමට පැමිණි මෙම සේවකයින්ට පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයේ හිමිකරු විසින් පහරදීමට තැත්කර රාජකාරියට බාධා කිරීම මුල් කරගෙන අදාළ පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභවේ ජාතික ජන බලවේගයේ එස්. එස්. උදය කුමාර නම් මන්ත්‍රීවරයාගේ සහෝදරයෙක් වන අතර එම මන්ත්‍රීවරයා විසින් අත්අඩංගුවට ගැනුණු තම සහෝදරයා නිදහස් කරන ලෙසට පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට බලපෑම්කර තිබෙනවා.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරීන් වෙත බැන තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම මත එම මන්ත්‍රීවරයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .
පසුව එම මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප හිමිව තිබෙනවා.
එම සිද්ධියට අදාළව විදුලි බල මණ්ඩලයේ සේවයින්ගේ රාජකාරි සඳහා සැකකරු විසින් බාධා කරනු ලබන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.





