හැටන් සිංගිමලේ ජලාශයට වැටී සිසුවෙක් අතුරුදන්

හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසනවා.

හැටන් – කොටගල කේම්බ්‍රිජ් දමිළ මහා විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි රාම් මූර්ති තමිල් මාරන් නමැති සිසුවෙක් මෙලෙස ජලාශයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ (08) දින පස්වරුවේ ඡායාරූප ගැනීමට ජලාශයට ඉහළින් වූ සිංගිමලේ රක්ෂිතයට ඇතුල් වී ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටිය දී ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී එම සිසුවා ජලාශයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට පානීය ජලය ලබා ගන්නා එම ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවත්, සිසුවාගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිස් ජීවිත ආරක්ෂක බලකායේ සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන්ගේ ද සහාය ඉල්ලා ඇති බවත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියා.

අතුරුදන් වූ සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති බවත්, ඔහු පාසල් යෑම සඳහා හැටන් ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදී පරිගණක බාහිර පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් බැහැර ව ගොස් ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?