”ස්වාමීනී මං ඉටිපන්දමෙන් තමයි හිටියේ” – දේශබන්දු ගෙවූ දුක්බර ජීවිතය ගැන හෙළිදරවුවක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් කිසිසේත් සැඟව නොසිටි බව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

ඒ, ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශ ලබා දෙමින්.

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල පරීක්ෂා කිරීම් නොකර අනවශ්‍ය ස්ථාන පරීක්ෂා කිරීම හේතුවෙන් තමන් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමසා සිටියේ W15 හෝටලය ඉදිරිපිට සිද්ධියෙන් මියගිය උපුල් නමැති නිලධාරියාට වන්දි ලබාදීමට ඔහු සිදුකළ වීරක්‍රියාව කුමක්ද යන්නයි.

”ස්වාමීනි, වීර ක්‍රියාවක් කරන්න ඕනේ නැහැ. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි ඔහු මියගියේ. උසස් නිලධාරියෙක් විශ්වාස කරලා තමයි ඔහු සද්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා.”

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අපරාධය සිදු වූ ස්ථානයට ගියා දැයි දිලීප පීරිස් අනතුරුව විමසා සිටියා.

”නැහැ ස්වාමීනි, එයා හිතුවලු වැලිගම පොලිසියෙන් සිද්ධිය ගැන විමර්ශන සිදු කරන නිසා සහ අදාළ සිද්ධියට තමන්ගේ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකුත් සම්බන්ධ නිසා එම සිද්ධිය වූ ස්ථානයට ගියොත් යම් කිසි ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ නිසා ඔහු අදාළ සිද්ධිය වූ ස්ථානයට යන්නේ නැතිව වැලිගම පොලිසියට ගිහින් තොරතුරු විමසා තිබුණා.”

අපරාධය සිදු වූ ස්ථානය බැලුවොත් හොඳයි නේද?” යනුවෙන් දිලීප පීරිස් මහතා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ ”එහෙම බලන්න අවශ්‍ය නැහැ,” ලෙසයි.

දිලීප පීරිස් මහතා දේශබන්දු තෙන්නකෝන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරන අතරතුර දේශබන්දු තෙන්නකෝන් ද අමතර ප්‍රශ්න ඇසීමක් සිදු කළා.

එහිදී පරීක්ෂණ කමිටුවේ විනිසුරුවරයෙක් දේශබන්දු තෙන්නකෝන්ට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකළා.

”සාක්ෂිකරු, ඔබ දිගින් දිගටම ප්‍රශ්න යොමු කළා. ඔබට හරස් ප්‍රශ්න අහන්න බැහැ. උසාවියේ වගේ නම් ඔබට මෙච්චරවත් කතා කරන්න බැහැ. නමුත් ඔබට කාරණා කියන්න අවස්ථාවක් ඕනේ නිසා තමයි මේ උදා කර දී තිබෙන්නේ. ඒ නිසා ඔබට හරස් ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ.’

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දේශබන්දු තෙන්නකෝන්ගෙන් යළි ප්‍රශ්න කිරීම් සිදුකළා.

”අදාළ සිද්ධියෙන් පසු ඔබ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වුණා ද?”

”ස්වාමීනි, මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා, නමුත් W15 හෝටලය ගැන කියන්න නෙවෙයි. රටේ සමස්ත ක්‍රියාවලිය ගැන දැනුවත් කරන්න.”

එහිදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමසා සිටියේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී W15 හෝටලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා ද යන්නයි.

”ඔව් ස්වාමීනි, මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. අපි එයට පිළිතුරු ලබාදුන්නා.”

මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් සැඟව සිටියා දැයි දිලීප පීරිස් මහතා එහිදී ප්‍රශ්න කළා.

”ස්වාමීනි මම හැංගිලා හිටියේ නැහැ, මම මගේ ගිරිඋල්ලේ නිවසේ හිටියේ. මම සාමාන්‍යයෙන් ඉන්න විදියට ඒ ගෙදර හිටියා. මම නිදාගන්න කාමරයේමයි මම නිදාගත්තේ. මම කෑම කන කාමරයට ගිහින් කෑම කෑවා. මම සාමාන්‍ය ජීවිතයක් ගත කළා.

ගිරිඋල්ල නිවසේ වෙන කවුරුන් හෝ සිටියා දැයි සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන විමසා සිටියා.

”ස්වාමීනි මගේ මව ඇතැම් අවස්ථාවල ඉන්නවා. ඇය වයෝවෘද්ධයි. ඇතැම් අවස්ථාවල ඇය මගේ සහෝදරයන්ගේ නිවෙස්වලත් ඉන්නවා,” යැයි දේශබන්දු තෙන්නකෝන් පිළිතුරු දෙමින් පැවසුවා.

අදාළ වරෙන්තු නිකුත් කිරීමේ සිද්ධියෙන් පසු නිවසේ සිටියේ කවුරුන් දැයි සභාපති විනිසුරුවරයා යළි ප්‍රශ්න කළා.

”ස්වාමීනි මම තනියම හිටියේ.” යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් පිළිතුරු ලබාදුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමසා සිටියේ;

”බල්බ දල්වන්නේ නැතිව ඉන්න එක ද ඔබ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න විදිහ?”

දේශබන්දු තෙන්නකෝන් – ”ස්වාමීනි එම නිවසේ විදුලිය කපා තිබුණේ, ඒ නිසා මම ඉටිපන්දමක් ආධාරයෙන් දවස ගෙවාගත්තා.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ”හුදෙකලාව ජීවත් වීම ද ඔබේ සාමාන්‍ය ජීවිතය?”

දේශබන්දු තෙන්නකෝන් – ”මම හුදෙකලාව ඉන්න එකද මගේ සාමාන්‍ය ජීවිතය කියලා ඔබ දන්නේ නැහැනේ.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ”ඒක තමයි… දැනගන්න තමයි අහන්නේ. ඔබ හරි ACTIVE පුද්ගලයෙක්නේ.”

හෝකන්දර නිවසේ බිරිඳ සහ දරුවන් සමග සිටීමට හැකියාව තිබියදී ගිරිඋල්ලට ගියේ මන්දැයි විනිසුරු මඩුල්ල දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසා සිටියා.

”ස්වාමීනි නීතිඥවරුන්ගේ උපදෙස් මත, අධිකරණ කටයුතුත් නිසා මම හිතුවා එහෙම ඉන්න අවශ්‍යයි කියලා. හැබැයි ස්වාමීනි මම අවශ්‍ය අවස්ථාවලදී කොළඹටත් ආවා.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ”ඔබ අධිකරණය මගහැරලා හිටියේ නැහැ කියන එකද ඔබේ ස්ථාවරය?”

දේශබන්දු තෙන්නකෝන් – ”ඔව් ස්වාමීනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල නෙවෙයි මාව සෙව්වේ. කතරගම බස්නායක නිලමේවරයාගේ ගෙදරකට ගිහිල්ලාත් පරීක්ෂා කරලා තිබුණා. මම ඔහුව දන්නවා, හැබැයි ඔහුගේ ගෙදර කොහේද තියෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ. අදාළ තැන් නෙවෙයි මේගොල්ලෝ පරීක්ෂා කර තිබුණේ. ආරණ්‍ය සේනාසනත් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබුණා. මම එහේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් විදියට ඉන්නද ස්වාමීනි.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ‘‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ඔබ සැඟවී සිටින බවටත්, ඔබ සෙවීමට මහජන සහාය පතන බවටත් ප්‍රකාශ කළ බව ඔබ දන්නේ නැද්ද?”

දේශබන්දු තෙන්නකෝන් – ”ස්වාමීනි මම දන්නේ පස්සේ. YOUTUBE හරහා තමයි මම ගිහිල්ලා ඒක දැනගත්තේ.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ”අමනාප වෙන්න එපා මෙහෙම අහනවාට. ගිරිඋල්ලේ ඉඳන් කොළඹ එනකොට ත්‍රිරෝද රථ රියැදුරන්ට වැඩි මුදලක් දීලා ඔවුන්ගේ ජංගම දුරකතනවලින් WHATSAPP හරහා ද ඔබ නීතිඥවරුන් සම්බන්ධ වුණේ. සාමාන්‍යයෙන් ඒක වෙන්න බැරි දෙයක් නේද දේශබන්දු මහත්මයා?”

දේශබන්දු තෙන්නකෝන් – ”ඒක සාමාන්‍ය දෙයක්. මොකද අද කාලේ ඕනම කෙනෙක් WHATSAPP පාවිච්චි කරනවා. ත්‍රිරෝද රථ රියැදුරු විතරක් නෙවෙයි පොළේ බඩු විකුණන කෙනත් WHATSAPP පාවිච්චි කරනවා. මම මට අමතන්න ඕනේ අයගේ නම්බර්ස් කඩදාසියක ලියගෙන තිබුණේ. ඒ හරහා මම ඔවුන්ට ගත්තා.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ”මේක හරි වෙහෙසකර ගමනක්නේ ඉතින්?”

දේශබන්දු තෙන්නකෝන් – ‘‘අනිවාර්යෙන්ම. මේක සුවපහසු ගමනක් නෙවෙයි.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ”අද වන විට මෙලෙස කමිටුවක් පත්කරලා, විමර්ශන කරන්නටත් දේශබන්දු ඔබට අධිකරණයට යන්නටත් දේශපාලනික පළිගැනීමක් සිදු වූවා කියන එකද ඔබේ අදහස?”

දේශබන්දු තෙන්නකෝන් – ”ඔව්, එහෙම අදහසක් තියෙනවා.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – ”ඔබ පොලිස්පති ධුරයේ කටයුතු කරන විට CCD එකේ නිලධාරීන් ඔබව අන්දනවා කියලා ඔබට තේරුණේ නැද්ද?”

දේශබන්දු තෙන්නකෝන් – ”ස්වාමීනි මම දැනුත් කියන්නේ ඔවුන් දැන් කියන එකත් තව ටික කාලයකින් වෙනස් කරයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.”

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම පරීක්ෂණ කමිටුව විසින් අවසන් කළේ පැය 10කට අධික කාලයක් ප්‍රකාශ ලබාගැනීම සහ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
16
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00