හොරණ, රෙමුණ ප්‍රදේශයේ ලී මඩුවක් තුළ උදැල්ලකින් පහරදී එම ලී මඩුවේ වඩුබාස් ඝාතනය කර ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, සමිඳුගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.
මීට මාසයකට පමණ පෙර මෙම පුද්ගලයා අදාළ ලී මඩුවේ රැකියාව සඳහා පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එම ලී මඩුවේ සේවය කළ තවත් සේවකයෙක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, මොවුන් දෙදෙනා ලී මඩුවේ එක් කෙලවරක පිහිටි කාමර දෙකක නැවතී සිට තිබෙනවා.
දෙදෙනා අතර දින කිහිපය සිට බහින් බස්වීම් ඇති වී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
ඝාතනය ලක්වූ පුද්ගලයා ඊයේ (01) දින ලී මඩුවේ සේවය අවසන් කර, ඔහු නවතැන් ගෙන සිටි කාමරය තුළ කොත්තුවක් ආහාරයට ගනිමින් සිටිය දී සැකකරු විසින් ඔහුට උදැල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.
අනතුරුව සැකකරු විසින් සිදුකළ අපරාධය ඔහුගේ පුත්‍රයාට දුරකථන ඇමතුමක් දී පවසා ඇති අතර, පසුව එය ලී මඩුවේ හිමිකරුට දැනුම් දී තිබෙනවා.
අපරාධය සිදුකළ සැකකරු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 55ක ඇඹිලිපිටිය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද (02) හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අඟුරුවාතොට පොලිසිය සිදුකරනු ලබනවා.





