එප්පාවල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ ඇඳගල – මිහිඳුපුර ප්‍රදේශයේ බස් රථයක්, ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුරකින් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අද (28) පස්වරු 04ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ බස් රථයේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනයෙන් බවට අනතුර සියැසින් දුටු ප්‍රදේශවාසීන් පැවසූ බවයි.
ගල්නෑව සිට අනුරාධපුර බලා වේගයෙන් ධාවනය වූ බස් රථය, ඉදිරියෙන් ගමන් කළ වාහනයක් ඉස්සර කිරීමට යාමේ දී, මුහුණට මුහුණ පැමිණෙමින් තිබූ බොලෙරෝ වර්ගයේ ලොරි රථයේ ගැටී තිබෙනවා.
ඒ සමග ලොරි රථයට පිටුපසින් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදියේ ද එය ගැටී මෙම අනතුර සිදු වුණා.
අනතුරින් බස් රථයට, ලොරි රථයට මෙන්ම යතුරුපැදියට ද දැඩි අලාභ හානි සිදු ව ඇති බවත් වාර්තා වනවා.
එප්පාවල, අලුත්වැව ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට පැමිණ, එප්පාවල ආදාහනාගාරයේ දී අවමංගල්‍යයේ අවසන් කටයුතු සිදු කර මැදිරිගිරිය ප්‍රදේශයට යමින් සිටි පිරිසක් ලොරි රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ ගමන් කළ පිරිසෙන් 09 දෙනෙකු හා යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, ඉන් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.
අනතුර සිදු වූ පසු බස් රථයේ රියදුරු හා කොන්දොස්තර එම ස්ථානයෙන් පලා ගොස් එප්පාවල පොලිස් ස්ථානයට භාර වී තිබෙනවා.















