සිය සැමියා විසින් තියුණු ආයුධයකින් දකුණු අතෙහි සුලැඟිල්ල පමණක් ඉතුරු වන ලෙස දකුණු අත්ල හා ඉතුරු ඇඟිලි හතර කපා දමා බෙල්ලට හා මුහුණට ද බරපතළ තුවාල සිදු කිරීමෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව අද (27) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මීගහකිවුල – අග්ගලා උල්පත, මීගහදෙනිය පදිංචි සෙල්වරාජ් ලක්මාලි වීරසිංහ නමැති 32 හැවිරිදි කාන්තාවක්.
සිය සැමියාගෙන් එල්ල වන අඩන්තේට්ටම් හේතුවෙන් මොවුන් කීප වතාවක්ම පොලිසියට ගෙන්වා සාමදාන කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් දෙදෙනා නිවාස දෙකක පදිංචිව සිටි බව ද හෙළි ව තිබෙනවා.
මියගිය කාන්තාව ඉකුත් 25 වැනි දින උදෑසන මීගහකිවුල නගරයේ තමා සේවය කරන වෙළෙඳසැලකට පැමිණෙමින් සිටියදී තියුණු ආයුධයක් ද රැගෙන මග රැක සිටි සැකකරු ඇයගේ දකුණු අතට පහර දී ඇති අතර එම පහරින් ඇයගේ සුලැඟිල්ල හැර ඉතිරි ඇඟිලි අත්ල ද සමග කැපී වෙන් වුණා.
අනතුරුව බෙල්ලට, මුහුණට හා දෑස්වලට ද බරපතළ කැපුම් තුවාල සුදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පහරකෑමෙන් අධික රුධිර වහනයක් මධ්‍යයේ ඇද වැටී සිටි මෙම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් මීගහකිවුල රෝහල වෙත ඇතුළත් කළ ද, ඇයගේ තත්ත්වය බරපතළ වූ නිසා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
දින දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද උදෑසන ජීවිතක්ෂයට පත් ව ඇත්තේ ඒ අනුවයි.
සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි සිටියදී එදින ම පස්වරුවේ කන්දකැටිය පොලිස් අත් අඩංගුවට පත් වුණා.
ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.