තීරු බදු නොගෙවූ දුම්වැටි තොගයක් ගුවන් තොටුපොළෙන් පන්නද්දී මාට්ටු

රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් තීරු බදු නොගෙවා, කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට ක්‍රියාත්මක “යුක්තිය” මෙහෙයුම යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සහ 25 හැවිරිදි, නිතර නිතර ගුවන් ගමන්වල නිරත වෙමින් විදේශීය භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත පුද්ගලයන් දෙදෙනෙක්.

මොවුන් ඊයේ (20) දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 832 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 33,400 ක් සඟවා ගෙන තිබිය දී පොලිසිය විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනාට එරෙහිව අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසිය සිදුකරනු ලබයි.

IMG 20240220 WA0102