Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කස්සප හිමි සත්‍යග්‍රහය කළ භූමියට ඇතුළුවීම තහනම් කරයි

අනුරාධපුර, රුවන්වැලි සෑය අසල පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පැවැත්වූ සත්‍යග්‍රහය පැවති භූමිය වටා දැනුම්දීම් පුවරු සවිකර ඇතුළුවීම තහනම් කලාපයක් බවට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

එම භූමියේ වෙළෙඳාම් කිරීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.

සත්‍යග්‍රහයෙන් පසු මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් සහ තවත් පිරිසක් ආතර එම ස්ථානයේ ගැටුමක් ද ඊයේ (12) දිනයේ දී ඇති වුණා.

එම අවස්ථාවේ දී කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සිව්නමක් සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

එමෙන්ම එම සැකකරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාගැනීම සඳහා වෛද්‍ය පරික්ෂණයකට ලක්කරන ලෙසත්, මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි යන්න පිළිබඳ සොයාබැලීම සඳහා වෛද්‍ය පරික්ෂණයකට ලක්කරන ලෙසත් අධිකරණය නියෝග කළා.