තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ දී අද (22) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීම තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයකට පළිගැනීමක් වශයෙන් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා.
උදෑසන 8.30ත් 8.40ත් කාලයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද ඒ අතර සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.
වෙඩිතැබීම සිදු වූ ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මොවුන් පිරිස සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටිය දී කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගිය බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙම පිරිස තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලීන් චම්පික ජයතිලක, සමන් පෙරේරා යන අය මෙම වෙඩි තැබීමෙන් මිය ගියා.


















