තෙලිජ්ජවිල වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ (වීඩියෝ)

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

එම යතුරුපැදිය තිහගොඩ, නාඳුගල වේල්ල බෑවුම් ප්‍රදේශයක දමාගොස් තිබිය දී පොලිසිය විසින් එය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එය සොයාගන්නා අවස්ථාවේ දී අංක තහඩු සහ බැටරිය ගලවා ඉවත්කර තිබූ අතර, වෙඩික්කරුවන් හැඳ සිටි බවට සැකකරෙන ඇඳුම් කිහිපයක් ද ඒ ආසන්නයේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සොයාගත් යතුරුපැදියේ ඇති ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් විමර්ශනයට අදාළ නිලධාරීන් කැඳවා තිබූ අතර, පොලිස් නිල සුනඛ අංශය ද එම ස්ථානය කැඳවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (08) රාත්‍රී 8.00ට පමණ මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ වූ දුරකථන උපාංග අලෙවිසැලක් තුළ දී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂය පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා මෙම වෙඩි තැබීම සිදුකර පලා යන ආකාරය අසළ පිහිටි ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් පොලිසිය සැකපළ කරන්නේ මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා ඝාතකයින් ඉලක්ක කරගෙන සිටි පුද්ගලයා නොවන බවයි.

ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අදාළ දුරකථන උපාංග අලෙවිසැලේ හිමිකරු බවටයි පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත්තේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී වෙළඳසැලේ හිමිකරු රැඳී සිට ඇත්තේ වෙළඳසැල ඉදිරිපිටයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මින්දික අලුත්ගමගේ නැමති තරුණයෙක්වන අතර ඔහු තම ජංගම දුරකථනය චාර්ජ් කරගැනීම සඳහා එම වෙළෙඳසැලට පැමිණ වෙළෙඳසැල තුළ රැඳී සිට තිබෙනවා.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.