තෙලිජ්ජවිල වෙඩි ප්‍රහාරයේ දී අපරාධකරුවන්ට ඉලක්කය වැරදිලා – මියගොස් ඇත්තේ වෙනත් අයෙක් (වීඩියෝ)

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් දුරකථන උපාංග අලෙවිසැලක සිටි 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවයි.

අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ අදාළ දුරකථන උපාංග අලෙවිසැලේ හිමිකරු බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මාතර, මාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල මංසන්ධියේ දී ඊයේ (21) රාත්‍රී 8.00ට පමණ මෙම වැඩි තැබීම සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියෙන් පැමිණි අපරාධකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් දුරකථන උපාංග අලෙවිසැලට ඇතුළු වී වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි තැබීමෙන් මියගොස් ඇති මින්දික අලුත්ගමගේ තරුණයා සිය ජංගම දුරකථනය චාර්ජ් කරගැනීම සඳහා එම වෙළෙඳසලට පැමිණ සිටි අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ඔහු දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෙළඳසැලේ හිමිකරු වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ වෙළඳසැලෙන් පිටත රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම වෙඩි තැබීම වෙළඳසැලේ හිමිකරු ඉලක්ක කරගෙන සිදුකළ බවට පොලිසිය මතු වූ සැකය මත ඔහු පොලිස් භාරයට ගෙන ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.