රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත් වුණා.

ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ ලෝක බැංකු සභාපතිවරයාට මෙහිදී ස්තූතිය පිරිනමා තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව සඳහන් කළා.

එමෙන්ම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බවත් එම ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සභාපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලෝක බැංකුව විසින් දක්වන ලද සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පළමුව ලෝක බැංකු සභාපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියා.

දැනට ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවකට අවතීර්ණ වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහන ද අවසන් අදියරට ළඟාවෙමින් පවතින බවයි සඳහන් කළේ.

ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ, වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම තම අපේක්ෂාව බවත් පසුගිය ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට දියුණුවේ ස්වර්ණමය දොරටුවක් විවර කර දී ඇති බව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සංචාරක, කර්මාන්ත සහ ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම නවීකරණය යන ක්ෂේත්‍ර මූලික කරගනිමින් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සමගම වැවිලි සමාගම් සමඟ ද සාකච්ඡා කර සාම්ප්‍රදායික අපනයන භෝග ද ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මාන්තයේ නවීකරණ ක්‍රියාදාමයක් සිදුකිරීමට රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව පැවසුවා.

ඉන්දු – ලංකා තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික විශ්වවිද්‍යාල 04ක් අලුතින් ගොඩනැඟීමටත්, ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා ලෝක බැංකුවේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා සිටියා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මඟින් ද ශ්‍රී ලංකාව වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා උතුරු පළාත සුළං සහ සූර්යබල විදුලියෙන් බල ගැන්වීමට කටයුතු කෙරෙමින් පවතින බවත් සඳහන් කළා.

හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ශක්‍යතා අධ්‍යයනයක් කරමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙම හමුවේ දී පැවසුවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා හිංසනය පිටු දැකීම, කාන්තා කොමිසම පිහිටුවීම සහ කාන්තාවන් පිළිබඳ අධ්‍යයන ආයතනයක් පිහිටුවීම ආදී වශයෙන් කාන්තාවන් වෙනුවෙන් නව පනත් 04ක් එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක බැංකු සභාපතිවරයාට ආරාධනා කළ අතර, ලෝක බැංකු සභාපතිවරයා විසින් එම ආරාධනාව පිළිගනු ලැබුවා.

අවශ්‍ය උපදේශන සේවා හෝ අනෙකුත් තාක්ෂණික සහයන් සඳහා ඕනෑම අවස්ථාවක තමා හෝ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානී සම්බන්ධ කරගන්නා ලෙස දැනුම් දුන් ලෝක බැංකු සභාපතිවරයා ලෝක බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානී මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ද සඳහන් කළා.

සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ගෙන ඇති ප්‍රවේශය අවධානමින් අඩු නමුත් ඵලදායීතාවයෙන් වැඩි බව පෙන්වා දුන් ලෝක බැංකු සභාපතිවරයා එය මේ මෙහොතේ ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන බව ප්‍රකාශ කර සිටියා.

ලෝක නාවික ගමන් මාර්ගයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූගෝලීය පිහිටීම ද වෙළෙඳ හා නාවුක කටයුතු මගින් ආර්ථික වාසි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු වරායන් ද උපයෝගී කර ගත හැකි බව ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය, සුළං, සූර්යබලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලෝක බැංකුවේ සහාය ලබදෙන බව ද පැවසුවා.

එමෙන්ම දැනට ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය බලශක්තියෙන් සම්බන්ධ කෙරෙන “බලශක්ති අන්තර් සම්බන්ධතා පද්ධතිය” සඳහා සම්බන්ධ වීමට ලෝක බැංකුව කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළා.

අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණයට ලක්කිරීම මඟින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එවැනි පරිවර්තනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේ ද ඇතුළුව විවිධ වෘත්තිය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කර සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ තමාට වැදගත් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවයි.

එසේම සෑම ක්ෂේත්‍රයකම විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම තම අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49