කෑගල්ල මහ රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
56 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔහුගේ මුඛය දෙපස ඇති වූ තුවාල තත්ත්වයක් හේතුවෙනුයි.
රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මියගිය මෙම පුද්ගලයාට ලබාදී ඇත්තේ පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන් ඖෂධයම බවයි.
එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධය අවස්ථා 13ක් ලබාදී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධයෙන් පසු ඔහු මියගිය බව රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇතිවන්නට ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල මාකූර ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙක්.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළා.
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ මෙරටට ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම මෙන්ම ඒ හේතුවෙන් මරණ සිදුවීම යන කරුණු මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් පසුගිය කාලයේ මරණ රැසක් සිදු වූ බවයි සමගි ජනබලවේගය සඳහන් කරන්නේ.













