AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් චන්ද්‍රයා වෙතට තවත් යානයක්

ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් චන්ද්‍රයාන් 3 යානය අද පස්වරුවේ චන්ද්‍රයා වෙත පිටත්කර යවනු ලැබුවා.

චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමත් සමඟ සඳ මතට යානයක් ගොඩ බැස්වීමට පියවර ගත් සිව්වන රට ලෙසටයි ඉතිහාසයට එක් වන්නේ.

සංස්කෘත භාෂාවෙන් “සඳ වාහනය” යන අරුත දෙන චන්ද්‍රයාන්, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සවස 2:30 ට පමණ අභ්‍යවකාශ ගත කෙරුණා.

ඉතිහාසගත වන මෙම අවස්ථාව නැරඹීමට විශාල පිරිසක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැස් ව සිටි අතර මිලියනයකට අධික පිරිසක් යූ ටියුබ් ඔස්සේ එම අවස්ථාව නරඹා තිබෙනවා.

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානය අගෝස්තු 23 – 24 පමණ වන විට චන්ද්‍රයා වෙත ළඟාවීමට නියමිත බව අභ්‍යවකාශ බලධාරීන් ප්‍රකාශ කළා.

මෙහෙයුම් සාර්ථක වුවහොත්, එක්සත් ජනපදයට, පැරණි සෝවියට් සංගමයට සහ චීනයට පසු සඳ මත ගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති.

ඉන්දියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහනෙහි තෙවැන්න වන චන්ද්‍රයාන්-3, මෙහෙයුම සිදුවන්නේ 2008 දී දියත්වූ පළමු ඉන්දියානු චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 13කට පසුව යි.

පළමු මෙහෙයුම මගින් සඳ මතුපිට ජලය සෙවූ සහ වඩාත් සවිස්තරාත්මක මෙහෙයුම මෙන්ම දිවා කාලයේ දී ද සඳට වායුගෝලයක් ඇති බව ද තහවුරු කර ගත් බවයි චන්ද්‍රයාන්-1හි ව්‍යාපෘති අධ්‍යක්ෂ මයිල්ස්වාමි අන්නදුරෙයි ප්‍රකාශ කළේ.

ප්‍රථම චන්ද්‍ර ගවේෂණ යානය වන චන්ද්‍රයාන්-1 සඳ වටා කක්ෂගත වූ අතර පසුව 2008 දී එය සඳ මතුපිටට කඩා වැටුණා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් වැඩි දියුණු කරන ලද චන්ද්‍රයාන්-3 යානය ගොඩබෑමක්, ප්‍රචාලන මොඩියුලයක් සහ රෝවරයකින් සමන්විතයි. එහි අරමුණ වන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මත ආරක්ෂිතව ගොඩබැසීම, දත්ත රැස් කිරීම සහ සඳෙහි සංයුතිය පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් පැවැත්වීමයි.

ඕබිටරයක්, ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත වූ චන්ද්‍රයාන්-2, 2019 වසරේ ජූලි මාසයේ දී දියත් කෙරුණු නමුත් එය අත්කර ගත්තේ අසම්පූර්ණ සාර්ථකත්වයක්.

අදටත් එහි ඕබිටරය සඳ අධ්‍යයන කරමින් එය වටා භ්‍රමණය වුව ද ගොඩබෑමක් සිදු කිරීමට අපොහොසත්වූ ලෑන්ඩරය හා රෝවරය ගොඩබෑමේ දී විනාශ වුණා. එසේ සිදුවූයේ “අවසන් මොහොතේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයකින්” බවයි අන්නදුරෙයි පැහැදිලි කළේ.

එකල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, අසාර්ථක වුවද මෙහෙයුම පිටුපස සිටි ඉංජිනේරුවන්ට ප්‍රශංසා කළ අතර, ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහන සහ අභිලාෂයන් මත අඛණ්ඩව කටයුතු කරන බවට සහතික වී තිබුණා.

ඉන්දියානු ඉංජිනේරුවන් වසර ගණනාවක් තිස්සේ චන්ද්‍රයාන්-3 දියත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරමින් සිටි අතර ඔවුන් අපේක්ෂා කරන්නේ මෙම මෙහෙයුමෙන් චන්ද්‍රයාගේ ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවයේ අභියෝගාත්මක භූමි ප්‍රදේශය අසලට ගොඩබෑමයි.

අද යානය දියත් කිරීමට මොහොතකට පෙර, මෝදි පැවසුවේ ඉන්දියාවේ අභ්‍යවකාශ අංශය සම්බන්ධයෙන් ගත් කළ මෙම දිනය සැමවිටම රන් අකුරින් සටහන් වනු ඇති බවයි.

“මෙම විශිෂ්ට මෙහෙවර අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යනු ඇත,” යනුවෙන් ඔහු ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 3900ක බරින් යුතු, ඉන්දියානු රුපියල් බිලියන 6.1ක වියදමකින් තනනු ලැබූ චන්ද්‍රයාන්-3ට ඇත්තේ ද එහි පූර්වගාමියාට තිබූ අරමුණුම – එනම්, සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකිරීම බව ව්‍යාපෘති අධ්‍යක්ෂ මයිල්ස්වාමි අන්නදුරෙයි ප්‍රකාශ කළා.

කිලෝග්‍රෑම් 1500ක් පමණ බර ලෑන්ඩරය (මෙය ISROහි නිර්මාතෘගේ නමින් ‘වික්‍රම්’ ලෙස නම් කර ඇත) විසින් කිලෝග්‍රෑම් 26ක් බර රෝවරය ප්‍රවාහනය කරයි. එය ‘ප්‍රාග්යාන්’ එනම් සංස්කෘතයෙන් ‘ඥානය’ ලෙසටයි නම්කර ඇත්තේ.

සිකුරාදා දියත් කිරීමෙන් පසු, චන්ද්‍ර කක්‍ෂයට ඇතුළුවීම සඳහා යානාවට දින 15ක් 20ක් පමණ ගතවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ. අනතුරුව ඉදිරි සති කීපයේ දී, විද්‍යාඥයින් විසින් එයට මෘදු ගොඩබෑමක් සිදුකළ හැකිවන පරිදි රොකට්ටුවේ වේගය ක්‍රමයෙන් අඩු කරනු ඇති.

සියල්ල සැලැස්මට අනුව සිදුවුවහොත්, රෝද හයේ රෝවරය ලෑන්ඩරයෙන් පිටවී චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය කිරීමට පෘථිවියට යැවීම සඳහා තීරණාත්මක දත්ත සහ ඡායාරූප රැස් කිරීමට නියමිතයි.

“රෝවරය ගෙනියනවා උපකරණ පහක්. ඒවයින් හඳ මතුපිට භෞතික ලක්ෂණ ගැනත්, මතුපිටට ආසන්න වායුගෝලය ගැනත්, මතුපිටට යටින් සිදුවෙන භූ කාරක ක්‍රියාකාරකම් ගැනත් තොරතුරු හොයන්න අවධානය යොමු කරනවා. අපි අලුතින් දෙයක් හොයාගනිවි කියලා මම බලාපොරොත්තු වෙනවා,” සෝමනාත් මිරර් නව් පුවත් සේවය වෙත පවසා තිබුණා.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය තවමත් බොහෝ දුරට අධ්‍යයනයට ලක්ව නැහැ. එහි සඳේ අඳුරු ප්‍රදේශය යටතේ පවතින භූමි ප්‍රමාණය උත්තර ධ්‍රැවයට සාපේක්ෂව විශාල බැවින්, ස්ථිරව සෙවනැල්ල යටතේ පවතින ප්‍රදේශවල ජලය තිබීමේ හැකියාවක් පවතින බවටයි පැවසෙන්නේ.

2008 වසරේ දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයෙන් ජලය සොයාගත් පළමු යානාව වූයේ ද චන්ද්‍රයාන්-1 යි.

“අපට මේ ප්‍රදේශය ගැන විද්‍යාත්මක වශයෙන් වැඩි උනන්දුවක් තියෙන්නේ, සමකාසන්න ප්‍රදේශයට – ඒක ගොඩබෑම් සඳහා ආරක්‍ෂිත යි – මේ වන විට ප්‍රවේශවෙලා ඒ සම්බන්ධයෙන් දත්ත ගොඩක් තියෙන නිසා,” සෝමනාත් පැවසීය.

“අපට වැදගත් විද්‍යාත්මක සොයාගැනීමක් කරන්න ඕන නම්, අපට දක්ෂිණ ධ්‍රැවය වගේ අලුත් ප්‍රදේශවලට යන්න සිද්ධවෙනවා. නමුත් ඒවායේ දී ගොඩබෑමේ අවදානම වැඩියි.”

චන්ද්‍රයාන්-2 විනාශවීමේ දත්ත “එකතුකර, විශ්ලේෂණයකර” ඇතිබව පවසන සෝමනාත්, නවතම මෙහෙයුමේ සියලු දෝෂ නිවැරදි කිරීමට එය උපකාර වූ බව ද ප්‍රකාශ කර තිබෙනවා.

“චන්ද්‍රයාන්-2 ඕබිටර් එකෙන්, අපට ගොඩබහින්න ඕන ස්ථානයේ හයි රෙසලූෂන් පින්තූර එවලා තියෙනවා. ඒ දත්ත හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා එතන කොච්චර ආවාට, කොච්චර පර්වත තියෙනවා ද කියලා. ඒ නිසා අපි වඩාත් හොඳ අවස්ථාවක් ලබාගන්න බලාගෙන ගොඩබැසීමේ කලාපය පුළුල් කරලා තියෙනවා.”

චන්ද්‍ර දිනයක ආරම්භය (චන්ද්‍රයාගේ එක් දිනක් පෘථිවි දින 14කට සමාන ය) සමග සමපාතවීම සඳහා යානය ගොඩබෑම “අතිශය නිරවද්‍ය” විය යුතුබව අන්නදුරෙයි පවසයි. මන්ද, ලෑන්ඩරයේ සහ රෝවරයේ බැටරි ආරෝපණයවීමට හා ක්‍රියා කිරීමට සූර්යාලෝකය අවශ්‍ය ය.

2000 වසරේ මුල්භාගයේ දී සඳ මෙහෙයුමක් පිළිබඳව අවධානය යොමු වූයේ ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වර්ධනය ඇතිවූ එකල බොහෝ තාක්ෂණ උපාධිධාරීන්ට මෘදුකාංග කර්මාන්තයට බැඳීමට අවශ්‍යවූ හෙයින් ඔවුන් ආකර්ෂණයකර ගත හැකි උද්යෝගීමත් ව්‍යාපෘතියක් ලෙස බවටයි අන්නදුරෙයි පවසන්නේ.

“ඒකට චන්ද්‍රයාන්-1 සාර්ථකත්වය උදව් වුණා. අභ්‍යවකාශ වැඩසටහන ඉන්දියාවේ අභිමානය පිළිබඳ යමක් බවට පත්වුණා. දැන් ISRO එකට වැඩ කරන එක හරිම ගෞරවාන්විත දෙයක් විදියට යි සැලකෙන්නේ.”

නමුත් අන්නදුරෙයි පවසන පරිදි ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනෙහි පුළුල් ඉලක්කය වන්නේ, “විද්‍යාවත්, තාක්‍ෂණයත්, මානව වර්ගයාගේ අනාගතයත් ආවරණය කිරීම” යි.

සඳ වෙත ‘ඇහැ ගහගෙන’ සිටින එකම රට ඉන්දියාව නොවේ. ග්‍රහලොව ගැන ඇති උනන්දුව ගෝලීය වශයෙන් වැඩෙමින් පවතියි. විද්‍යාඥයන් පවසන්නේ, ගැඹුරු අභ්‍යවකාශය වෙත දොරටුවක් ලෙස බොහෝවිට සැළකෙන මේ ග්‍රහලොව ගැන අවබෝධකර ගැනීමට තවත් බොහෝ දේ ඇති බව යි.

“අපට හඳ ප්‍රත්‍යන්ත මුරපොළක්, ගැඹුරු අභ්‍යවකාශයට දොරටුවක් විදියට සංවර්ධනය කරන්න ඕන නම්, එහෙ තියෙන අමුද්‍රව්‍යවලින් අපට ගොඩනගන්න පුළුවන් මොන විදියේ වාසස්ථානයක් ද, එහෙ ඉන්න අපේ මිනිස්සුන්ට ඕනේ කරන දේවල් ප්‍රවාහනය කරන්නේ කොහොමද කියන දේවල් හොයා බලන්න තවත් ගොඩක් ගවේෂණ සිද්ධ කරන්න අවශ්‍ය යි,” අන්නදුරෙයි පවසයි.

“ඒ නිසා, ඉන්දියාවේ ගවේෂණවල අවසාන ඉලක්කය තමයි, අපෙන් කිලෝමීටර 360,000ක් ඈත අභ්‍යවකාශයේ තියෙන හඳ යම් දවසක දී පෘථිවියේ විස්තීරණ මහාද්වීපයක් වෙච්ච දවසක අපි නිෂ්ක්‍රීය නරඹන්නෙකුබවට පත්වෙනවා වෙනුවට, අපට ඒ මහද්වීපයේ සක්‍රීය, ආරක්‍ෂිත ජීවයක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න ඕන.”

ඉඳින්, චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථකවීම එම දිශාවට තබන වැදගත් පියවරක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?