නාවලපිටිය ප්රදේශයේ මාර්ග සංවර්ධනයකට ගෙනා රුපියල් ලක්ෂ හතළිහක් වටිනා ගල් රෝලක් (කාපට් තලන මැෂිමක්) සොරකම් කළ බව කියන රෝහල් සේවකයෙකු හා ගුරුවරයකු සොයා නාවලපිටිය පොලීසිය මෙහෙයුමක් අරඹා තිබේ.
මෙම ගල්රෝල හොරණ ප්රදේශයේ ස්ථානයකට රුපියල් ලක්ෂ 6කට විකුණා තිබියදී ඉන් මාස 2කට පසු පොලිසිය විසින් එය සොයාගෙන අද (29) දින නාවලපිටිය පොලිසිය වෙත රැගෙන විත් තිබුණි.
නාවලපිටිය සමනළගම මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීම සඳහා කැළණිය ප්රදේශයේ සමාගමකින් රැගෙනවිත් තිබූ මෙම ගල් රෝල් මැෂිම එම ප්රදේශයේ අතුරු මාර්ගයක නවතා තිබී ඇත.
මේ අතර එම ප්රදේශයේ සිටින මෙම රෝහල් සේවකයා හා ග්රාම නිලධාරිනියකගේ සැමියකු වන පාසල් ගුරුවරයකු එක්ව එම සමාගමේ ආකාරයට ලිපි ශීර්ෂයක මෙම ගල් රෝල යකඩ සඳහා අලෙවි කිරීමට යැයි ව්යාජ ලිපියක් සකසා තැරව් කරුවකු මාර්ගයෙන් හොරණ ප්රදේශයට මෙම මැෂිම විකුණ ඇති බව පොලිසිය පවසයි.
එම සමාගමෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව නාවලපිටිය පොලිසිය දීර්ඝ විමර්ශනයක් කොට හොරණ ප්රදේශයට අලෙවි කර තිබූ මෙම මැෂිම සොයාගෙන තිබුණි.
සැකකරුවන් දෙදෙනා ඒවනවිටත් ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිසිය මේ ආකාරයට මෙහෙයුමක් දියත් කොට තිබේ.
