බලපත්‍රයක් නොමැතිව සත්ව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

සත්ව හිංසාවක් සිදුවන අයුරින් බලපත්‍රයක් නොමැතිව ගවයින් ප්‍රවාහනය කිරීම, බලපත්‍රයක් නොමැතිව ගවයින් 66 දෙනෙකු සහා එළුවන් 124 දෙනෙකු සත්ව ඝාතකාගාරයක් තුළ ගාල් කර තබා ගනිමින් සත්ව ඝාතකාගාරයක් පවත්වාගෙන ගෙන ගියැයි පැවසෙන සැකකරුවන් පස් දෙනෙකු ජූලි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ මහතා අද (28) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කරගම්පිටිය දෙහිවල සහා ශ්‍රී ධර්මාරාම පාර රත්මලාන යන ප්‍රදේශයන්හි පදිංචි මාමසාලි මුත්තු කුමාර්, මොහොමඩ් සෆ්රාස් කාන්, මොහොමඩ් හසන් මොහොමඩ් ෆාරික්,සාවුල් හමීඩ් මොහොමඩ් හම්ඩාන්, මොහොමඩ් සුබේඩ්ඩි සාලි නැමැති සැකකරුවන් පස් දෙනෙකි.

දෙහිවල කරගම්පිටිය ධර්මරාජ මාවතේ සත්ව ඝාතකාගාරයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කරන ලද මෙහෙයුමකින් බලපත්‍ර නොමැතිව ඝාතකාගාරයට ප්‍රවාහනය කරමින් සිටි මී ගවයකු සහා එළ ගවයකු ද දිග අඩි 10 ක් හා පළල අඩි 10 ක් වන සිමෙන්ති දමා බිත්ති බැඳ තිබූ ස්ථානයක ඝාතනය කිරීමට එහි ගාල් කර සිටි ගවයින් 47ක් වැස්සියන් 19 ක් සහා එළුවන් 124 දෙනෙකු සොයා ගැනීමට හැකි වූ බව දෙහිවල පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරී පොලිස් සැරයන් 36612 ජානක නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ගවයින් 17 දෙනෙකු සදහා පමණක් පශු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද ලියාපදිංචි වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර එම වාර්තාව වල නිර්වද්‍යතාවය පරික්ෂා කර බලා කරුණු වාර්තා කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

නැවත මෙම නඩුව ජූලි මස 6 වන දින කැදවීමට නියමිතය.