ක්‍රිප්ටෝ මුදල් ගැන සිහි කැඳවීමක්

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ දී ඇති අවදානම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන් වලට හසු වී ඇති බවත්ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018, 2021 සහ 2022 වසර වලදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන හරහා ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින් හට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂණ ගැටළු පිළිබඳව දැනටමත් අවධාරණය කර ඇත. මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමඟ මෙම අවදානම් සහ ගැටළු නැවතත් තහවුරු විය. එසේම, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහජනතාවට නැවතත් අවධාරණය කරයි. තවද, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැත. තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීමට ද අවසර නොමැත. ක්‍රිප්ටෝ මුදල් අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් එය ජාතික ආර්ථිකයට දායකත්වයක් නොදක්වන අතර රටට වටිනා විදේශ මුදල් අහිමි වීමට ද එය හේතුවක් විය හැකිය.

ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජන කර ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන්වල සීග්‍ර වර්ධනයක් පෙනී යන බව මහජනතාව වෙත අනතුරු අඟවනු ලැබේ. ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභ ලබාදීමේ පොරොන්දුව ඇතිව පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙන්ම වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් පුද්ගලයින් රැවටීම ද මෙම වංචාවලට ඇතුළත් වේ. මෙම වංචාවන් පිළිගත් නියාමන සහ නෛතික ආරක්ෂණ යාන්ත්‍රණයන් මග හරින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය අහිමි වී ඇත.

අන්තර්ජාලය, වෙනත් මාධ්‍ය හෝ සෘජුව විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරනු ලබන කිසිදු ආකාරයක ක්‍රිප්ටෝ මුදල් යෝජනා ක්‍රමයක ආයෝජනය නොකිරීම තුලින් සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය ආරක්ෂා කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත මෙයින් උපදෙස් දෙනු ලබයි. ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති අතර ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange), ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවද දන්වා සිටියි.

තවද, ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාව හට ඇතිවන මුල්‍යමය අලාභ ඇතුලු අනෙකුත් අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32