නිවසට පැන කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කෑ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

නෙලුක්කුලම පොලිස් වසමේ නිවසකට ඇතුළු වී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කෑ පුද්ගලයෙක් වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් පසුගිය 14 වනදා මෙම කොල්ලකෑම සිදුකර ඇති අතර, එහිදී ඔහු විසින් කොල්ලකන ලද රන් මාලයේ වටිනාකම රුපියල් 525,000ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.

එලෙස කොල්ල කන ලද මාලය උණුකර සකස් කළ ග්‍රෑම් 20ක් බර රන් කැබැල්ලක් උකස්කර තිබිය දී සොයාගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 35 හැවිරිදි වියේ පසුවන වව්නියාව, අන්නගීර් ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (18) දින වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.