ලේඛණය සුන්දර මෙන්ම නිර්මාණශීලී දක්ෂතාවයක්.සමාජයේ ලේඛන හැකියාව ඇති පිරිස අල්පයි.එවන් දක්ශතාවයක් සතු මිනිස් ආකල්පයන් තිව්රර වන්නේ ඒ දක්ශතාවය සමඟ කලාවද හදවතේ මුසු වීමත් සමඟමයි.මේ එවන් සුන්දර චරිතයක්.ඇය නමින් පංචමී හේවාවිසෙන්ති.අද අපි ඇයව කතාබහකට සම්බන්ධ කර ගත්තේ නුදුරේදීම එළිදැක්වෙන ඇගේ “ඇවැත්” කෙටිකතා සංග්‍රහය පිළිබඳව අදහස් බෙදා ගැනීමටයි.
ආයුබෝවන් පංචමී!
ආයුබෝවන්!!
“ඇවැත්” කතාවට සරලවම නිර්වචයක් දෙන්න කිව්වොත් ඔබ ඒ ගැන කොහොමද කියන්නෙ?
ඇවැත් කියන්නේ කෙටිකතා සංග්‍රහයක්.මේක ඇත්තටම මම ලිව්වෙ මට අවුරුදු 20 දි විතර.ඒ කියන්නේ හරියටම කිව්වොත් මීට අවුරුදු පහළොවකට විතර කලින්.මේ කාලය පුරාවටම මම මේක මගේ ලග තියා ගත්තා.අදටත් තියෙනවා මගේ අත් අකුරෙන් ලියපු පොත..
ඇයි මෙහෙම දෙයක් ලියන්න හිතුවෙ?
ඇත්තටම මෑතකදි තමයි මට අදහසක් ආවේ පොතක් විදියට මේක පළ කරන්න ඕන කියලා.අවුරුදු 20 දි මම මේක ලියන කොට මම මේකට නමක් දාලා තිබ්බේ නෑ.මේකෙ සම්පූර්ණ කෙටිකතා හතක් තියෙනවා.සාමාන්‍ය මම ලියන්න පටන් ගත්තම කාලයක් තිස්සේ මට ලියන්න අමාරුයි. මම දන්න විදියට සමහර කෙටිකතා නවකතා අවුරුදු ගණන් ලියන අය ඉන්නවා.ඇත්තටම මට ඒ තරම් ඉවසීමක් නෑ.මේ කතාවල් හතම අවුරුද්දකටත් වඩා අඩු කාලෙකින් මම ලියලා තිබුනා
මේ පොතේ තියන සිදුවීම් වලට පාදක වෙච්ච දේවල් තියනවද?
සමහර කතා වලට පාදක වුණේ මම සමාජයේ දැක්ක දේවල්,තවත් සමහර දේවල් මම කියවපු දේවල්.ඉස්සර මම රැයක් දවාලක් නැතුව මුළු දවසම කැප කරපු දවස් තිබුණා කියවන්න.මගේ තාත්තට තිබුණා හොඳ පොත් එකතුවක්.මම ඒ පොත් පත් සඟරා නිතර නිතර පරිහරණය කළා.හැබැයි මම සිංහල දේවල් කියවලා ම නැති තරම්.ගොඩක්ම ඉංග්‍රීසි සහ දෙමළ නවකතා තමයි මම කියවලා තියෙන්නේ.මගේ ජීවිතයේ මම නවකතා කෙටිකතා කියවලා තියෙන්නේ බොහොම අතළොස්සයි.මොකද මගේ හිතේ බයක් තියනවා ඒවා කියවන මට ඒ වගේ දේවල් ලියවෙයි කියලා.ඒත් මම තාත්තාගෙන් ලොකු ආභාෂයක් ලබා ගත්තා.
මට මතකයි මං පොඩි කාලේ අපේ අත්තම්මලා අම්මලා මට කතා කියනකොට උලමෙක් කෑ ගැහුවම මළගෙයක් වෙන්න ඉඩ තියෙනවා කියලා කියලා තියෙනවා.මම ඒකෙන් මේ කෙටිකතා සංග්‍රහයේ උලමා කියලා කතාවක් නිර්මාණය කළා.පොඩි කාලේ මම ඒ කතාව අහන කොටම මම මගේ මනසින් කතාවක් නිර්මාණය කරගෙන මුල මැද අග ගැලපුවා.ඇත්තටම ඇවැත් කියන්නෙත් සත්‍ය කතාවක්.ඒ කතාවට මුහුණ දුන්නු ස්වාමීන් වහන්සේ සිවුරු හැර ගියාට පස්සේ මට හමුවුණා.ඔහුගේ ඉල්ලීමක් තමයි මේ කතාව ලියන්න කියන එක.
මම මුලින් හිතුවේ මේක ඉංග්‍රීසියෙන් කෙටි කතාවක් විදියට ලියන්න ඒත් මට ඒක බැරි වුණා.ඊට පස්සේ මම සිංහලෙන්ම කතාව ලිව්වා,කවදහරි කෙටිකතා පොතක් එළිදක්වන කොට මේ කතාවත් ගන්නවා කියලා.ඇවැත් කියන කතාව හැර අනිත් කතා අනිත් කතා සියල්ලක්ම මම මවා ගත්ත කතා.මම මේ පොත එළි දක්වන කොට මම ෆේස්බුක් එකේ මේක දැම්මා.ඔබ එතකොට ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි මේකෙ කොහෙදි හරි මගේ ජීවිත කතාව හම්බෙනවද කියලා.මට ඒකට දෙන්න තියෙන එකම උත්තරේ තමයි මේකෙ කොහේදිවත් මගේ ජීවිත කතාව හොයන්න එපා.
ඔබේ ලේඛන හැකියාව කොතනින්ද පටන් ගන්නෙ?
මගේ තාත්තා විදුහල්පතිවරයෙක්.එයා නවකතා ලියලා තියෙනවා සිංදු ලියලා තියෙනවා,ලේඛන හැකියාව අතින් එයා ගොඩක් දක්ෂයි.ඒ පන්නරය පොඩි පොඩිකාලේ ඉඳලම මටත් ලැබෙන්න ඇති.ඉතිං පොඩි කාලේ ඉඳන්ම තාත්තත් එක්ක වාඩිවෙලා මම ලියන්න පටන් ගත්තා.මට අවුරුදු අටේදී විතර තාත්තා හෘදයාබාධයකින් නැති වුණා.ඒත් තාත්තගේ නිර්මාණශීලී ජාන තාමත් මගේ ඇඟේ ඒ විදියටම තියෙනවා.ඒ හැකියාව මගේ තාත්තා මට දීලා ගියා.ඒක මට ගොඩක් ලොකු සතුටක්.තාත්තා ඒ කාලෙ ලියපුවා මට අවුරුදු 20 දි වගේ මම කියෙව්වා.ඒ අතර අසම්පූර්ණ නවකතා තිබුණා,එක අසම්පූර්ණ නවකථාවක් මම සම්පූර්ණ කළා.ඒක ඉදිරියේදී තාත්තගෙයි මගේ නම මම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඇවැත් කියන පොත මම කියවනකොට මට හිතෙන්නෙ ඒකෙ තියෙන්නෙ මගේ තාත්තාගේ ශෛලිය.මොකද මට පුළුවන් ඉක්මනින්ම ඕනෑම් ශෛලියක් උකහා ගන්න.ඒ නිසයි මම වැඩිය නවකතා කෙටිකතා පොත් කියවන්නෙත් නැත්තෙ.හැබැයි මම පුවත්පත්වල තියෙන විස්තර කියවනවා,සමහර දේවල් වලින් මම කතා මවා ගන්නවා.ඒ වගේ මම මවාගත්ත කතා කීපයක් තමයි මේ.
ලිවීමෙන් ලැබෙන පන්නරය කොහොමද ? කොහොමද දියුණු වුණේ?
ලංකාවේ මිනිස්සුන්ට සාක්ෂරතාවය තියෙනවා.ඒ නිසා මිනිස්සුන්ට ඕන දෙයක් ලියන්න පුලුවන්.ඒත් ලිවීම සහ ලේඛනය කියන්නේ දෙකක්.අපි දකිනවා මේ වෙනකොට ගොඩක් අය ලේඛනයට යොමුවෙලා ඉන්නවා ඒත් කිසිම නිර්මාණශීලී හැකියාවක් නෑ.කෙනෙක්ට නිර්මාණශීලීව ලියන්න පුළුවන් නම් ඒක ජීවිතේ තියෙන ලොකුම ලොකු ටැලන්ට් එකක්.ඒත් අපි හැම වෙලාවෙම ලියන්න කලින් කියවන්න ඕන.ලස්සනට නිර්මාණශීලීව ලියලා තියෙන දේවල් කියෙව්වම අපේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා.
ඇත්තටම අපි අතට අහුවෙන හැම දේම කියවන්න ඕන.මම කියවන්නේ එහෙමයි හැබැයි මට කියවන්න ලැබුණේ හොඳ දේවල්.අදටත් මම ඇඳුම් ගන්න shopping කරනවට වැඩිය මම කැමති පොත් ගන්න.අද වෙනකොට මම හිතනවා මගේ තාත්තාගේ ශෛලියත් එක්ක මම මගේ තාත්තා තරමටම දක්ෂ ලේඛිකාවක් වෙලා තියෙනවා කියලා.මම හිතනවා මම හොඳ ලේඛිකාවක් කියලා.මොකද මෙච්චර කාලයකට මම ලියපු දේවල් වලට ලැබෙන කමෙන්ට්ස් හොඳයි.ඒවා තමයි තව තවත් දේවල් මට ලියන්න මාව motivate කරන දේ.
“ඇවැත්” කෙටිකතාව රචනයේදී මතුවුණු අභියෝගාත්මක දේවල්?
මම මුලදී කිව්වා මම මේක ෆේස්බුක් එකේ දානකොට ගොඩක් අය මගෙන් ඇහුවා ඔයාගේ ජීවිත කතාව මේකෙ කොතන හරි තියෙනවද කියලා.මගේ උත්තරේ තමයි නෑ කියන එක.මට තවත් උත්තරයක් තියෙනවා ඒ තමයි මගේ ජීවිතය ඒ තරම්ම අභියෝගාත්මක නැහැ.මගේ ජීවිතය දුෂ්කර ගමන් මාර්ගයකින් ආව එකක් නෙමෙයි දෝ කියලා මට හිතෙනවා.එහෙම ජීවිතයක් ලැබෙන්න එක් අතකින් බැලුවොත් වාසනාවට.මගේ ජීවිතයේ මට අභියෝග හමුවුණේ අඩුවෙන්.ඒ කියන්නේ මට ඒවා අභියෝග නෙමෙයි.ඒත් ඒකට මට හිතෙන්නෙ මෙහෙමයි,සමහර අය අභියෝග කියලා හිතන දේවල් මම අභියෝග කියලා හිතන්නේ නැහැ.
ඒ වගේ තමයි ඇවැත් කෙටිකතාව ලියනකොටත් මට අභියෝග ආවෙ නෑ.මම පවුලේ බාලයා,පවුලෙ අය මාත් එක්ක නිතරම හිටියා.මට කිසිම අගහිඟ කමක් දැනෙන්න දුන්නේ නෑ.ජීවිතේ කිසිම අමාරු කමක් මට දැනෙන්න දුන්නේ නෑ.අදටත් මගේ පවුලේ අය මගේ හෙවනැල්ල වගේ ඉන්නවා.මට ලියන්න අවශ්‍ය වෙලාව ඕනතරම් තිබ්බා.මට අවශ්‍ය සම්පත් තිබ්බා.
යොවුන් ආදරය ගැන යොවුන් ලේඛකයෙක් විදියට ඔබ හිතන දේ?
මම මේ ප්‍රශ්නෙට ගොඩක් කැමතියි.ආදරය කියන දේ යොවුන් අයට විතරක් නෙවෙයි,ආදරය කියන දේ උපතේ සිට මරණය දක්වා විඳින්න ඕන දෙයක්.අපිට ජීවිතේ එක එක කාලවල් වලදී ලැබෙන ආදරය වෙනස්.පොඩි කාලේ අපිට පවුලේ අයගේ ආදරේ ලැබෙනවා එතකොට අපිට ප්‍රේමවන්තයෙක් ගේ ආදරේ අවශ්‍ය නෑ.හැබැයි යොවුන් කාලෙදි එහෙම ආදරයක් ඕන.අපේ ශරීරයේ වෙනස්කම් එක්ක ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වුණාම තමයි අපිට පිටස්තරයෙක්ගෙ ආදරය අවශ්‍ය වෙන්නේ.ඒකට විරුද්ධ ලිංගිකයෙක්ගෙ ආදරය කියන්නත් අමාරුයි,මොකද දැන් දැන් දැන් ලෝකෙ සිද්ධවෙන දේවල් එක්ක සමලිංගික ආදර කතා අපිට හම්බවෙනවා.
ආදරය ගැන කතා කරනකොට මුල් කාලේදී අපි හොයන්නේ අපේ ගේ ඇතුළෙන්ම ආදරයක්.ඊට පස්සේ තමයි අපි පිටස්තර ආදරේකට යොමු වෙන්නේ.පිටස්තර ආදරේ ගැන කතා කරනකොට එතනදී හිත් රිදවීම් කියන දේවල් වෙනවා.සමහර අය වාසනාවන්තයි ඒ පිටස්තර ආදරය තමන්ගේම ගෙදර අයගෙන් ලැබෙන ආදරය වගේ විඳලා ජීවිත කාලයම ඒ ආදරය තමන්ගේ කරගන්න.නමුත් ඒක බොහෝම අතළොස්සයි.
ඒත් වර්තමානයේ ආදරය ගැන කතා කරනකොට මම එකේ ගැටලුවක් විදියට දකින්නේ,ආදරේ තමන්ගේ කරගන්න උත්සාහ කරන එක.අපි හිතනවා දැන් මෙයා මට විතරයි මගේ විතරයි මම දිහා විතරයි බලන්න ඕන කියලා.මම හිතනවා ඒක ඉතාමත්ම සාධාරණ හැඟීමක්.ඒත් කීයෙන් කී දෙනාටද මුලින් පටන් ගන්න ඒ ආදරණීය බැඳීම දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ.සමහර ආදර කතා තියනවා කසාද බැන්දත් එක ගෙදර වෙනම ජීවත් වෙනවා.කායිකව වගේම මානසිකව විඳවනවා.ඒක යොවුන්, මැදිවිය කියලා වෙනසක් නෑ ඕනෙම කෙනෙක්ට බලපානවා.
අද කාලේ තියෙන්නෙත් වෙනස්ම දේවල්,ආදරය කරනකොට මැසේජස් චෙක් කරන්න ඕන,ෆෝන් එකේ password එක ඕන,facebook password එක ඕනේ,කවුද කමෙන්ට් කරන්නෙ කවුද රිඇක්ට් කරන්නේ කවුද hearts දාන්න කියලා බලන්න ඕන..ආදර කතා වල වර්තමානයේ තියෙන තාක්ෂණයත් එක්ක පැන නැගෙන ප්‍රශ්ණ තමයි මේවා.මේ හැමදේම මැද තමයි ආදරය ගලාගෙන යන්නේ.අද මට ලෝකයක් වටින කෙනාට හෙට වෙනකොට මාව නොවටින්න පුළුවන්.ටික කාලෙකින් ජීවිතේ නො වැදගත්ම කෙනා බවට තමන්ව පත් වෙන්නත් පුළුවන්.අද කෙනෙක්ට මේ තමයි ලෝකේ ඉන්න ලස්සනම ගැහැනිය කියලා හිතෙන්න පුළුවන්,තව අවුරුදු කීපයකින් මේ මොන ලස්සනක්ද කියලා හිතෙන්නත් පුළුවන්.
අද ආදරය කළාට තව අවුරුදු කීපයකින් ඒ ආදරේ වෛරයක් වෙන්න පුළුවන්.ඒ දේවල් තමයි අද අපිට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ.අනිත් අතට අපේ ඉස්සරහ ආදරණීය ප්‍රේමවන්තයෙක් හිටියට තිරයෙන් පිටිපස්සේ මානසික ලෙඩෙක් ඉන්නත් පුළුවන්.එහෙම දේවල් අපි අද කාලේ ඕන තරම් අහනවා දකින්න ලැබෙනවා.
බැඳීම සහ තමන්ගේ කියලා අල්ලා ගැනීම වරදක් නෑ.දාර්ශනිකව කිව්වොත් වැරදියි තමයි,ඒක වැරදියි කියලා තමන්ගෙ ගෙනාව අත ඇරලා දාන්න තරම් ධ්‍යාන වඩපු මිනිස්සු මේ ලෝකෙ නෑ.පෘතග්ජන මිනිස්සු පිටස්තර මිනිස්සුන්ට තදින්ම බැඳෙනවා.ඔහු හෝ ඇය කරන දේවල් නිතරම හොයා බලන්න ඕනේ වෙනවා ,එය වැරදි මාර්ගයේ යන කෙනෙක් ද කියලා හොයලා බලන්න අවශ්‍ය වෙනවා.
ගෑනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ආදරේ කරනවා නම් ඒ දෙන්නට දෙන්නා අවංකවම ඉන්නවනම් දෙන්නගෙ අතරෙ රහස් තියෙන හොඳ නෑ.සරලව කිව්වොත් facebook එකේ password එක දෙන්න පුළුවන් වෙන්න ඕන.ඇලෙන්න ඕන බැඳෙන්න ඕන ඒක තමයි ආදරේ කියලා කියන්නෙ.ආදරය කරනවා නම් අනිත් කෙනාට රික්වෙස්ට් එකට අපි ඉඩ දෙන්න ඕන.ඒක තමයි ආදරේ කියලා කියන්නෙ.පාස්වර්ඩ් එකක් ඉල්ලනවා නම් ඒක දෙන්න ඕන.එතන තමයි ආදරේ ශක්තිමත් කම රැඳිලා තියෙන්නේ.ඒක දෙන්න බෑ කියලා කියනවා නම් එතන සම්බන්ධය ගැන විශ්වාසයක් තියන්න බෑ.කවුරුහරි එහෙම දේක දි කියනවා නම් ඔයා මගේ මානසික නිදහස නැති කරනවා කියලා එතන සැකයක් තියෙනවා.හංගන්න දේවල් තියෙන කෙනා තමයි එහෙම දේවල් හැංගෙන විදියට වැඩ කරන්නෙ
ඔබේ ලේඛන ගමන් මඟේ ලොකුම බලාපොරොත්තුව ?
මම ලේඛනය පටන් ගත්තෙ මගේ මානසික නිදහසට.මගේ දැඩි ආශාවක් තියෙනවා ලේඛනයට.ඇත්තම කියනවා නම් මට බලාපොරොත්තුවක් නෑ.පොඩි කාලේ මගේ ආසාවක් තිබ්බා පත්තරයක වැඩකරන්න.ඒ බලාපොරොත්තුව මම ඉෂ්ට කරගත්තා.මාධ්‍ය ජීවිතයේ ගන්න ඕන අත්දැකීම් ඔක්කොම මම ලේඛන කලාවෙන් අරගෙන තියෙනවා.මගේ ජීවිතේ ලොකු ලොකු ප්ලෑන්ස් නෑ .බොහොම කෙටි කාලයකින් තමයි මම හැමදේම කරන්නේ.ඉදිරියට මගේ අතින් භාෂා තුනෙන්ම ලියපු පොත් එළි දක්වන්න බලාපොරොත්තු ව නම් තියෙනවා.
ඇවැත් කෙටිකතාව කුමන පාඨක පන්තියක් උදෙසා රචනා වූවක්ද?
ඇවැත් කෙටිකතාවට පාඨක පන්තියක් කියලා වයස් සීමාවක් නෑ.අවුරුදු 18 ඉඳන් ඕන කෙනෙක්ට කියවන්න පුළුවන්.මේකෙ තියෙන්නෙ අද්භූත දේවල් වත් මනෝවිකාර වත් නෙවෙයි සමාජයේ සිද්ධ වෙන දේවල්.ඇවැත් සත්‍ය කතාවක්,ඊට අමතරව මම හිතනවා මම මේ ලියල තියෙන කතාන කතාවල් හතෙන් එකක් හරි මේ ලෝකෙ කොහේ හරි සිද්ධවෙලා ඇති කියලා.කියවන්න කැමති ඕනම කෙනෙක්ට මේ පොත කියවන්න පුළුවන්.මම මුලින් කිව්ව වගේ ෆේස්බුක් එකේ මේ ගැන දාපුවාම මට ගොඩක් Comments හම්බුනා.ඒ හැමෝම බලාගෙන ඉන්නේ පොත් එලියට එනකන්..
සංවාදය- සචිනි සත්සරණි ප්‍රේමරත්න